Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පැය දෙක හමාරකින් අපි සියල්ලම නැතිකරගත්තා

පැය දෙක හමාරකින් අපි සියල්ලම නැතිකරගත්තා

රොෂාන් ගුණරත්න - 2021 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රතිවාදීන් කෙරේ කිසිදු අනුකම්පාවකින්  තොරව ක්‍රීඩා කිරීමටත්, ඉදිරියේ ඇති ඕනෑම බාධකයකට මුහුණදී ඒ අවස්ථාවේදීම බාධකය ජයගන්නා ආකාරයත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉගෙන ගත යුතුව ඇතැයි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් මහතා පවසයි. එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස පරාජය වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී මිකී ආතර් මහතා එසේ පැවසීය.

“අපි තරගකාරී ලෙස ක්‍රීඩා කරන ආකාරයක් දැකගන්න ලැබුනේ නෑ. ක්‍රීඩාව ඉදිරියේ ඇති ඕනෑම බාධකයකට මුහුණදී ඒ තත්වයන් ජයගනිමින්, ප්‍රතිවිරුද්ධ කණ්ඩායම කෙරේ අනුකම්පාවක් නොදක්වාම ක්‍රීඩා කරන්න අපි ඉගෙන ගන්න ඕනා. ප්‍රතිවාදීන් පීඩනයකට ලක් කළ යුතුයි. අද අපේ බලාපොරොත්තු සුන්වීම මහ ඛේදවාචකයක්.”
 
“දවස් තුනක් අපි සටන් කළා. අපි හොඳ තැනකට ආවා. ඒත් පැය දෙකහමාරකින් අපි සියල්ල නැත්තටම නැතිකර ගත්තා” යයිද මිකී ආතර් මහතා පැවසීය.

පරාජය සම්බන්ධයෙන් කරුණු දැක්වූ මිකී ආතර් මහතා මෙසේද කීවේය.

“දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදීමට යනවිටත් ඉදිරියෙන් සිටි අපි, එය අපේ දෑතින් ලිස්සා යාමට ඉඩ හැරියා. ඒ ලිස්සා යාම මට මගේ ඇඟිල්ල දිගු කර පෙන්වන්න පුළුවන්....”යැයි මිකී ආතර් මහතා ටෙස්ට් තරගයෙන් පසුව පැවසීය.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙම පුවත් පත් සාකච්ඡාව අන්තර්ජාලය ඔස්සේ පැවැත්විණ. සම්පූර්ණ තරගාවලියම ප්‍රේක්‍ෂකයන්ගෙන් තොරව පැවැති අතර ගාල්ල කොටුව මතට නැගගත් කිහිප දෙනෙක් පමණක් තරගය නැරඹූහ.

“එය දුර්වල පිතිහරඹයක්. මම දැන් ක්‍රීඩකයන් සමඟ නිදහසේ ඒ ගැන කතා කරන්න ඕනේ.. එය අප කළ යුතු දෙයක්. අපි ප්‍රතිවාදීන්ට වඩා ඉදිරියෙන් ඉන්නේ නම් ඒ වෙලාවේදීම ප්‍රතිවාදීන්ගේ කණ්ඩායමේ බෙල්ල හිරකර තැබිය යුතු වෙනවා. අපි එය නොකරපු නිසා අපේ බලාපොරොත්තු සුන්වුණා. මෙය සිදු වූ පළමු අවස්ථාව මෙය නොවේ. ඒ පිළිබඳව මම කණ්ඩායම සමඟින් සොයා බැලිය යුතු වෙනවා.”

“අපි ඇදහිය නොහැකි ලෙස දින තුනක සාර්ථකත්වය අතහැර දැම්මා, පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලිස්සා යාමට ඉඩ දුන් පරිදිම, තවත් එක් විනාශකාරී පැය දෙකකදී තරගය අපෙන් ගිළිහී යාමට ඉඩදුන්නා.

“කණ්ඩායමක් ලෙස අපට ඒ දුර්වල පැය දෙකහමාර දරාගන්න බෑ. අපිට ඒ වගේ සැසියක් තියෙන්න බෑ. හේතුව එහෙම වුනාම යළිත් නැගී සිටින්න බෑ.... ඒක මහ ඛේදවාචකයක්.... මොකද දවස් තුනක් තිස්සේ අපි කරට කර තරග වැදුණා... තරගය තිබුණේ අපට මිට මොළවාගන්න පුළුවන් තත්ත්වයක. ඒත් අපි ඒක අතහැරියා...“ යයි මිකී ආතර් මහතා පැවසීය.

පළමු ඉනිමේදී මෙන් ඔවුන් සැලසුම් කළ ආකාරයටම ඔවුන්ගේ ගමන යන ලෙස සිව්වන දිනයේදී ආතර් මහතා පවසා ඇත. එහෙත් සිදුවූයේ අනෙකකි.

“අපි පන්දුවට පහර දුන් ආකාරය අපේ ක්‍රීඩා සැලැස්මට ආසන්නයෙන් තිබුණේම නැහැ. අද (සිව්වැනි දිනයේ) උදෑසන අපගේ ක්‍රීඩා සැලැස්ම වුණේ පීඩනය දරාගෙන පැය කිහිපයක් පන්දුවට පහර දීමයි. ඊට පස්සේ ජයග්‍රහණය කරා යන ගමන අවසන් දිනයේ සැලසුම් කළ යුතුව තිබුණා.

“ඒක තමයි අපේ උපාය වුනේ... ”

“උදේ අපි ඒ ගැන දීර්ඝ කතාබහක යෙදුනා. පළමු ටෙස්ට් තරඟයේ දෙවන ඉනිමේ සැලසුම් ආදර්ශයට ගනිමින් අපගේ ඉනිමේ පදනම දැමීමට අවශ්‍ය වුණත්, කොහේදී හරි එය දරුණු ලෙස වැරදී ගියා. ඒ පිළිබඳව මම තවත් සොයා බැලිය යුතුයි” යයිද මිකී ආතර්  මහතා පැවසීය.

 


අදහස් (0)

පැය දෙක හමාරකින් අපි සියල්ලම නැතිකරගත්තා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.