Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දුවේ කෙළ ගෑම තහනම් - මධ්‍යස්ථ විනිසුරුවන් තාවකාලිකව ඉවතට

පන්දුවේ කෙළ ගෑම තහනම් - මධ්‍යස්ථ විනිසුරුවන් තාවකාලිකව ඉවතට

editorial - 2020 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



ක්‍රිකට් තරගයකදී පන්දුව ඔප දැමීම සඳහා ඛේඨය තැවරීම වහාම තහනම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උපදේශන මණ්ඩලය වන ක්‍රිකට් කමිටුව නර්දේශ කර තිබේ. කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඉදිරිපත් කරනු ලැබ ඇති සෞඛ්‍ය උපදෙස් මත පදනම්ව ක්‍රිකට් කමිටුව විසින් මෙම නිර්දේශය කර තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන්, පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, අන්තර්ජාතික ක්‍රිකට් සභාවට වරින් වර උපදෙස් දෙනු ලබන්නේ එහි ක්‍රිකට් කමිටුව විසිනි. එම කමිටුවේ සාමාජිකයන් අතර සඳුදා (18 වැනිදා) පැවැති දුරකතන සම්මන්ත්‍රණයකින් පසුව මව් සංගමය වන අන්තර්ජාතික ක්‍රිකට් සභාවට මෙම යෝජනා ඉදිරිපත් කෙරිණ.

කෙළ තවරා පන්දුව ඔප දැමීමේදී කොරෝනා වයිරසය පැතිරීමට තිබෙන “වඩාත් අවදානම් සහගත තත්ත්වය” හේතුවෙන් පන්දුවේ කෙළ තැවරීම දැනට ඉවත් කරන්නට සිදුවන නමුත් පන්දුවේ දහදිය තවරා එය ඔප දැමීම තවදුරටත් අනුමත කළ හැකි බවත් ක්‍රිකට් කමිටුවේ නිර්දේශය වී තිබේ.

සංචරණය සීමා කිරීමේ අරමුණ ඇතිව මෙන්ම රට රටවල පවතින නිරෝධායන නීති රීති හේතුවෙන් මධ්‍යස්ථ විනිසුරුවරුන්ගේ සේවයද තාවකාලිකව අත්හිටුවීමට නිර්දේශ කර තිබේ. ටෙස්ට් තරගයක් සඳහා දේශීය විනිසුරුවරයකු සමග මධ්‍යස්ථ විනිසුරුවරයකුගේ සේවය යොදා ගැනීම 1994 සිට ක්‍රියාත්මකව පවතින්නකි. එහෙත් වසර 2002 දී එය මධ්‍යස්ථ විනිසුරුවරුන් දෙදෙනකු දක්වා ඉහළ දමන ලදි. වසර 2002 සිට මේ දක්වා කිසිම ටෙස්ට් තරගයකදී දේශීය විනිසුරුවරුන් තරග විනිශ්චය කර නැත.

කෙසේ වෙතත් දේශීය විනිසුරුවරුන් තරග විනිශ්චය කරන බැවින් එක් ඉනිමක් සඳහා දෙපිල වෙනුවෙන්ම විනිසුරු තීරණ විමසීමේ අවස්ථාවක් වැඩිකිරීමටද අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ක්‍රිකට් කමිටුව නිර්දේශ කර තිබේ. ඒ අනුව ටෙස්ට් තරගයකදී ඉනිමක් වෙනුවෙන් කණ්ඩායමකට ලැබෙන විනිසුරු තීරණ විමසීමේ අවස්ථා ගණන 3 කි.

මෙම සියලු නිර්දේශ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක රැස්වීමට යොමු කෙරෙන අතර ඒවා ක්‍රියාත්මක වීමට පෙර ප්‍රධාන විධායක රැස්වීමේදී අනුමත විය යුතුව තිබේ.

“අපි දැන් සිටින්නේ අති විශේෂ කාල වකවානුවක. මේ කමිටුව විසින් නිර්දේශ කරන ලද දේ, අපගේ ආරක්‍ෂාව සඳහාත්, ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම සඳහාත් ගනු ලැබූ තාවකාලික පියවර පමණයි. එහි මූලික අරමුණ වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලු දෙනාම ආරක්‍ෂා කරගැනීමයි” යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ක්‍රිකට් කමිටු සභාපති අනිල් කුම්බල් මහතා පැවසීය.

- 213


අදහස් (0)

පන්දුවේ කෙළ ගෑම තහනම් - මධ්‍යස්ථ විනිසුරුවන් තාවකාලිකව ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.