Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දෙපිලේ පුහුණුකරුවෝ ඉලක්ක දෙකක

දෙපිලේ පුහුණුකරුවෝ ඉලක්ක දෙකක

දමින්ද විජේසූරිය - 2021 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


මාස 26 කට ඉහත ගාල්ලේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් ආරම්භ කළ තඩිබෑම ගාල්ලෙන්ම අවසන් කරමින් 5-0 ක පරාජයක් ශ්‍රී ලංකා පිලට උරුම කරදීම තමන්ගේ අපේක්‍ෂාව බව එංගලන්ත පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා කියයි. හෙට (22 වැනිදා) ගාල්ලේදීම ආරම්භ වන ටෙස්ට් තරගයේදී එංගලන්ත බලාපොරොත්තු සම්බන්ධයෙන් සිල්වර්වුඩ් මහතා එසේ කීවද ශ්‍රී ලංකා  කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් මහතා කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තරුණ ක්‍රීඩකයන් ඕනෑතරම් සිටින බවත් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගෙන් පාඩමක් ඉගෙන ගන්නේ නම් තරගාවලිය සමකරගැනීම මහ කජ්ජක් නොවන බවත්ය.

වසර 2018 නොවැම්බර් 6 වැනිදා ගාල්ලේදී ආරම්භ වූ ටෙස්ට් තරගයේදී එංගලන්ත කණ්ඩායම ලකුණු 211 ක විශිෂ්ට ජයක් අත්කර ගත්තේය. එතැන් සිට එම තරගාවලියේ තරග තුනම ජයගත් එංගලන්ත කණ්ඩායම එදා 3-0 ක පරාජයක් ශ්‍රී ලංකා පිලට උරුම කර දුන්නේය. එම ජයග්‍රහණ වැලත් සමගින්, එංගලන්ත කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකාවේදීම පැවැති ටෙස්ට් තරග 4 ක් පිට පිටම ජයගෙන තිබේ.

යම් හෙයකින් හෙට ආරම්භ වන තරගයත් ජයගැනීමට එංගලන්තය සමත් වුවහොත් එංගලන්තය ආපසු යන්නේ ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලි දෙකකදී 5-0 ක පරාජයක් සත්කාරකයන්ට උරුම කර දීමෙනි.

“ඉන්දියාවට එරෙහි තරගාවලියට යන්න ඉස්සරවෙලා මෙහේදී පැවැත්වෙන තරගාවලිය 2-0 කින් ජයගන්න අපට පුළුවන් වුණොත් ඒත අපේ ආත්මවිශ්වාසයට මහත් පිටුවහලක් වේවි” යයි එංගලන්ත පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවසීය. එහෙත් මිකී ආතර් මහතාගේ අදහස වෙනස් එකකි.

“මම බලාපොරොත්තු වෙන්නේ මැතිව්ස්ගේ වගේ ඉනිමක් දෙකක්.. විශේෂයෙන්ම පළමු ඉනිමේදී විශාල ලකුණු සංඛ්‍යාවක් ලබාගන්න එකයි.”

“මේ වගේ තත්ත්වයන් යටතේ ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිම අති විශිෂ්ටයි. ඔහු ඒ වෙනුවෙන් හැඩගැහුණු ආකාරය, ඔහුගේ ලකුණු ලබාගැනීමේ වේගය වගේම ඔහු ඉනිම සැලසුම් කළ ආකාරයත් අනර්ඝයි... අපේ තරුණ ක්‍රීඩකයන් ඔහු දිහා බලාගෙන ඉගෙන ගන්න ඕනා... දඟ කැවෙන තණතීරුවකදී පන්දුවට පහරදෙන ආකාරය ඔහු කදිමට පෙන්නුම් කළා...”

“මා හිතන්නේ දැන්වත් ඒ පාඩම ඉගෙන ගෙන ඇති කියලයි. අපට දැන් විශාල ඉනිම ඕනෑ කරනවා” යයිද මිකී ආතර් මහතා පැවසීය.

“කාට හරි හොඳ අවස්ථාවක් (ආරම්භයක්) ලැබුණාම ඒකෙන් ප්‍රයෝජන ගන්න ඒ අය දැනගන්න ඕනේ.. හරියට ජෝ රූට් එංගලන්තය වෙනුවෙන් කළා වගේ.. පළමු තරගයේදී වෙනස තිබුණේ එතැනයි... අපි ඒ වගේ යන්න ඕනේ” යයිද මිකී ආතර් මහතා පැවසීය.

පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 135 කට දැවී ගිය නමුත් දෙවැනි ඉනිමේදී ඇන්ජලෝ මැතිව්ස් කළ ධෛර්යසම්පන්න පිතිහරඹය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 359 ක් ලබාගත්තේය. පුරා පැය 6 කට ආසන්න කාලයක් තිස්සේ එංගලන්ත පන්දු යවන්නන් වෙහෙසට පත්කරමින්, පන්දු 219 කට මුහුණ දුන් මැතිව්ස් ලකුණු 71 ක් ලබා දැවීගියේ කණ්ඩායමේ අවසන් පිතිකරුවා ලෙසිනි.

මැතිව්ස්ගේ ධෛර්යසම්පන්න ඉනිම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක පරාජයෙන්ද ගැලවිණ.

පළමු තරගයේදී ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 135 කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වූ නමුත් පුහුණුකරුවා කියන්නේ දෙවැනි තරගයේදී අනෙක් පන්දු යවන්නන් ද භාවිතා කළ හැකි බවයි.

පළමු ටෙස්ට් තරගයට සහභාගි නොවූ පළපුරුදු පන්දු යවන්නන් වන ජේම්ස් ඇන්ඩසන්, ක්‍රිස් වෝක්ස් සහ ඔලී ස්ටෝන් එංගලන්ත කඳවුරේ සිටිති. එංගලන්තය සැලසුම් කරන්නේ තමන්ගේ පන්දු යවන්නන් වෙහෙසට පත් නොකර, ඉදිරියේ එන ඉන්දීය සංචාරය සඳහාත් යොදාගැනීමයි. කෙසේ වෙතත් කොරෝනා ආසාදිතයකු වූ මුයින් අලී හෙට තරගයේ ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් නැති බවද එංගලන්ත පුහුණුකරුවා පැවසීය.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයට පෙර එංගලන්තයට තවත් ටෙස්ට් තරග 5 ක් තිබේ. ඒ ශ්‍රී ලංකා පිලට එරෙහිව 1 ක් සහ ඉන්දියාවට එරෙහිව 4 ක් ලෙසිනි. මෙම තරග 5 දී එංගලන්තය ක්‍රීඩා කරන ආකාරය අනුව මේ වන විට 4 වැනි ස්ථානයේ සිටින එංගලන්තයේ ස්ථානය තීරණය වනු ඇත. කෙසේ වෙතත් ඉන්දියාවට එරෙහිව විශාල තරගාවලි ජයක් ලබාගතහොත් පමණක් ලෝඩ්ස්හිදී පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයට පිවිසීමේ සියුම් අවස්ථාවක් එංගලන්තයට තිබේ.

එංගලන්තය දැන් ඉලක්කය අල්ලන්නේ එතැනටය.

ඇඟිල්ලේ අස්ථියක් පිපිරීම හේතුවෙන් දිමුත් කරුණාරත්නට දෙවැනි ටෙස්ට් තරගයත් අහිමි වන හෙයින් දිනේෂ් චන්දිමාල් තාවකාලික නායකයා වී සිටී. කෙසේ වෙතත් සුරංග ලක්මාල් හෙට තරගය සඳහා සුදුසු තත්ත්වයක සිටිනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

තරගය ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බැවින්, ලසිත් ඇඹුල්දෙණිය, ඩිල්රුවන් පෙරේරා සහ වනිඳු හසරංග කණ්ඩායමට එක්වනු ඇත.

 

 


අදහස් (0)

දෙපිලේ පුහුණුකරුවෝ ඉලක්ක දෙකක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.