Last Update  :  2024-03-29 19:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දඹුල්ල ලකුණු 9 කින් ගාල්ල පරදවයි

දඹුල්ල ලකුණු 9 කින් ගාල්ල පරදවයි

යොහාන් භාසුර - 2020 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 12 වැනි තරගය ලෙස සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (05) පැවැති දිනයේ පළමු තරගයේදී දඹුල්ල වයිකිංස් ක්‍රීඩකයෝ ලකුණු නවයකින් ගාල්ල ග්ලැඩියේටර්ස් පරාජය කිරීමට සමත් වූහ.

දඹුල්ල පිල තරග පහකදී ලැබූ සිවුවැනි ජය මෙය වන අතර මෙම ජයත් සමඟ දඹුල්ල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

ගාල්ල ග්ලැඩියේටර්ස් පිල මේ දක්වා සහභාගි වූ තරග පහ පරාජයට පත්වීම කැපී පෙනේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 208 ක ඉලක්කය හඹාගිය ගාල්ල පිල ඕවර 20 අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 198 කට සීමාවිය.

ධනුෂ්ක ගුණතිලක, ගාල්ල පිලේ සටන්කරු බවට පත්වෙමින් පන්දු 52 කින් ලකුණු 78 ක් රැස්කරමින් හයවැනි කඩුල්ල ලෙස දැවී නොයන්නට ප්‍රතිඵලය වෙනස්වීමට ඉඩ තිබුණි. ධනුෂ්කගේ ඉනිමට හතරේ පහර 10 ක් සහ හයේ පහරක් ඇතුළත් විය. 

චැක්වික් වෝල්ටන් (15) සහ ෂෙහාන් ජයසූරිය (1) ලකුණු දෙකක් තුළ සිවුවැනි සහ පස්වැනි කඩුලු ලෙස දැවී යෑමෙන් ගාල්ල පිල පසු පසට තල්ලු විය.

ධනුෂ්ක ලකුණු 59 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ බවට විනිසුරු ප්‍රගීත් රඹුක්වැල්ල තීරණය කළ අතර එය ධනුෂ්කගේ අත්ආවරණයේ වැදී ගිය පන්දුවක් වීම නිසා විනිසුරු තීරණ නැවත විමසීම ඔහුට තව දුරටත් කඩුල්ලේ රැදී සිටීමේට අවස්ථාව දුන්නේය.  

අසාම් ඛාන්, දඹුල්ල පන්දු යවන්නන්ට අනපේක්‍ෂිත ප්‍රහාරයක අත්දැකීම් ලබාදෙමින් පන්දු 24 කින් හතරේ පහර හතක් සහ දැවැන්ත හයේ පහර තුනක් සමගින් ලකුණු 55 ක් රැස්කිරීමට සමත් විය. 

අසාම් ඛාන් ලකුණු 39 ක් ලබා සිටියදී මාලින්ද පුෂ්පකුමාර ද, ධනුෂ්ක ලකුණු 55 ක් ලබා සිටියදී රමේෂ් මෙන්ඩිස් ද, පන්දු තුනක් තුළ උඩ පන්දු දෙකක් බිම දැමීම දඹුල්ල දැඩි පාඩුවක් බවට පත්විය.

ධනුෂ්ක සහ අසාම් ඛාන් ක්‍රියාත්මක කළ වේගවත් පිතිහරඹයත් සමඟ දහවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ගාල්ල පිලේ ලකුණු 100 ලකුණු පුවරුවේ සටහන් විය.

දකුණතින් දඟ පන්දු යවන රමේෂ් මෙන්ඩිස්ගේ පළමු පන්දුවට නායක භානුක රාජපක්‍ෂ (5) ඉදිරියට පැන පහරක් ගැසීමට යෑමෙන් ස්ටම්ප් කිරීමට හසුව දැවී යෑමෙන් ගාල්ල පිල සසළ විය.

අසන් අලී පන්දු 16 කින් ලකුණු 19 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

ආරම්භක පිතිකරුවන් වූ ධනුෂ්ක ගුණතිලක සහ අසන් අලී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් සිවුවැනි ඕවරය අවසන් වන විට ලකුණු 42 ක් රැස්කර සිටියහ.

පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල පිලේ නායක දසුන් ශානක පිතිකරු ලැයිස්තුවේ ඉහළට පැමිණෙමින් අංක පිතිකරු ලෙස පන්දු 21 කින් ලකුණු 37 ක් රැස්කරමින් ඉනිම ප්‍රවේගවත් කළේය.

දඹුල්ල පිලට මෙම දැවැන්ත ලකුණු සංඛ්‍යාවට යෑමට අන්තයක් ආරක්‍ෂාකර දෙමින් උපුල් තරංග ක්‍රීඩා කළ ඉවසිලිවන්ත ඉනිම කැපී පෙනුණි. තරංගගේ පන්දු 54 ක ඉනිමට හතරේ පහර 11 ක් සහ හයේ පහරක් ඇතුළත් විය.

දසුන් සහ තරංග අතර දෙවැනි කඩුල්ලට පන්දු 28 කින් වේගවත් ලකුණු 69 සම්බන්ධතාවක් ගොඩනැගුණි.

ධනංජය ලක්‍ෂාන් යැවූ ඉනිමේ 16 වැනි ඕවරයට ලකුණු 21 ක් එකතුවීමෙන් දඹුල්ල පිල තවත් ශක්තිමත් විය.

මොහොමඞ් අමීර් යැවූ 15 වැනි ඕවරයේ දෙවැනි පන්දුව දසුන් ශානකගේ හිස් ආවරණයේ වැදී කඩුලු රකින්නා රැකගත් අතර එම පන්දුවට ‘නිපන්දුව’ ලෙස විනිසුරු ප්‍රගීත් රඹුක්වැල්ල සංඥාා කිරීමත් සමඟ ගාල්ල පිලේ නායක භානුක රාජපක්‍ෂ සහ විනිසුරු අතර සංවාදයක් ඇති විය. මොහොමඞ් අමීර් පළමු පන්දුව පිතිකරුගේ උරහිසට ඉහළින් යවා තිබීම නිසා ඔහුට අවවාදයක් ද නිකුත් කළේය.

නිරෝෂන් දික්වැල්ල මෙම තරගාවලියේ මේ දක්වා ඔහු දියත් කළ සාර්ථකම ඉනිම වාර්තා කරමින් පන්දු 37 කින් ලකුණු 60 ක් රැස්කිරීමට සමත් විය. දික්වැල්ලගේ ඉනිම හතරේ පහර පහකින් සහ දැවැන්ත හයේ පහර තුනකින් වර්ණවත්විය. දික්වැල්ල සිය අර්ධ ශතකය පහර දුන් 30 වැනි පන්දුවේදී සම්පූර්ණ කළේය.

දික්වැල්ල සහ තරංග පන්දු 76 කින් ලකුණු 110 ක අනගි ආරම්භක සම්බන්ධතාවක් පැවැත්වූහ.

ගාල්ල පිලේ කඩුලු රකින ක්‍රීඩක අසාම් ඛාන්ගේ දුර්වල කඩුලු රැකීම නිසා හත්වැනි සහ අටවැනි ඕවරවල අවසන් පන්දු දෙකට අතිරේක හතරේ ලකුණු දෙක බැගින් ලකුණු අටක් එකතු වීම දඹුල්ල පිලට ප්‍රසාද දීමනාවක් බඳුවිය. 

දික්වැල්ලගේ වේගවත් ආරම්භය නිසා පළමු ඕවර හය අවසන් වන විට දඹුල්ල පිල ඉදිරියෙන් ලකුණු 48 ක් සටහන් වී තිබුණි.

දඹුල්ල පිලේ නායක දසුන් ශානක කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

දඹුල්ල පිලට විදේශ ක්‍රීඩකයන් වන සමිට් පටෙල්, සමිනුල්ලා ශින්වාරි, අන්වර් අලී සහ සුදීප් ත්‍යාගි ඇතුළත් වූහ. අසාන් ඛාන්, අසන් අලී, චැක්වික් වෝල්ටන් සහ මොහොමඞ් අමීර් යන විදේශ ක්‍රීඩකයෝ ගාල්ල පිලට ක්‍රීඩා කළහ.

දඹුල්ල වයිකිංස් පිල ඕවර 20 කදී කඩුලු 4 ට 207
(උපුල් තරංග 77, නිරෝෂන් දික්වැල්ල 60, දසුන් ශානක 37, ධනංජය ලක්‍ෂාන් 39/2, අසිත ප්‍රනාන්දු 56/1, ලක්‍ෂාන් සඳකැන් 30
/1)

ගාල්ල ග්ලැඩියේටර්ස් පිල ඕවර 20 කදී කඩුලු 7 ට 198
(ධනුෂ්ක ගුණතිලක 78, අසන් අලී 19, අසාම් ඛාන් 55, චැක්වික් වෝල්ටන් 15, මිලින්ද සිරිවර්ධන නොදැවී 13, අන්වර් අලී 37/3, කසුන් රාජිත 38/1, සමිට් පටෙල් 31/1, රමේෂ් මෙන්ඩිස් 30/1, දසුන් ශානක 10/1)
 


අදහස් (0)

දඹුල්ල ලකුණු 9 කින් ගාල්ල පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.