Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දඹුල්ලට උපායශීලීන්ගේ සිව් දෙනකුගේ සහාය

දඹුල්ලට උපායශීලීන්ගේ සිව් දෙනකුගේ සහාය

ශානුක අරවින්ද - 2020 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

දසුන් ශානක, උපුල් තරංග සහ පෝල් ස්ටර්ලින් (අයර්ලන්තය) යන ජාත්‍යන්තර මට්ටමේ නායකයන් තිදෙනකුගෙන්ම සමන්විත වන දඹුල්ල වයිකින්ස් කණ්ඩායම, ලංකන් ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අතර ශක්තිමත් කණ්ඩායමක් ලෙස හැඳින්විය හැකිය. කණ්ඩායමේ නායකයා වශයෙන් පළමුවෙන්ම තෝරාගත් සුවිශේෂී ක්‍රීඩකයා වන දසුන් ශානක නම්කර තිබේ.

ඉකුත් වසරේදී (2019) පාකිස්තාන කණ්ඩායමට ‍එරෙහිව පාකිස්තානයේ පැවැති විස්සයි20 තරගාවලියේදී 3-0 ක ඓතිහාසික ජයක් වාර්තා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ දසුන් ශානක, ජයත්‍යන්තර මට්ටමේ නායකයකු ලෙස 100% ජයග්‍රාහී ප්‍රතිශතයක් රඳවාගෙන සිටියි.

මේ දක්වා විස්සයි20 තරග 93 කට සහභාගි වී ඇති දසුන්, එහිදී ශතක 3 ක් සහ අර්ධ ශතක 6 ක් සමග ලකුණු  1846 ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ 27.14 ක සාමාන්‍යයක් සහ 144.44 ක ලකුණු රැස්කිරීමේ වේගයක් රඳවාගනිමිනි. දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස නම් දරා සිටින ඔහු, 35.13 ක සාමාන්‍යයක් පවත්වාගෙන යමින් විස්සයි20 තරගවලදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 23 කි.

ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග 3 කදී, බංග්ලාදේශයට එරෙහිව තරග 2 කදී සහ ඉන්දීයාවට එරෙහිව එක් තරගයකදී ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකත්වය දරා ඇති උපුල් තරංග ක්‍රිකට් උපායමාර්ග ගැන පරිණත දැනුමැත්තෙකි.

2007 ලෝක කුසලාන තරගාවලියේදී මෙන්ම 2011 ලෝක කුසලාන තරගාවලියේදීත් ආරම්භක පිතිකරුවකු ලෙස විශිෂ්ට දස්කම් දැක්වූ තරංග, විස්සයි20 තරග 117 කදී ශතක 2 ක් සහ අර්ධ ශතක 18 ක් සමග රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 3188 කි. එහි සාමාන්‍යය 29.51 ක් ලෙස සටහන් වන අතර ඔහුගේ ලකුණු රැස්කිරීමේ වේගය සටහන් වන්නේ 129.22 ක් ලෙසිනි.

දඹුල්ල කණ්ඩයමේ කඩුලු රකින්නාගේ කාර්යය වේගයෙන් ලකුණු රැස්කරන ක්‍රීඩකයකු ලෙස සැලකෙන නිරොෂන් දික්වැල්ලට හිමිව තිබේ. මේ දක්වා විස්සයි20 තරග 65 කට ක්‍රීඩා කර ඇති දික්වැල්ල, එහිදී අර්ධ ශතක 6 ක් සමග ලකුණු 1224 ක් රැස්කරගෙන ඇත්තේ 21.47 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. ඔහුගේ ලකුණු රැස්කිරීමේ වේගය 138.93 ක් ලෙස සටහන් වේ.

අන්තර්ජාතික මට්ටමමේ  නායකයන් තිදෙනකුගෙන් මෙන්ම දික්වැල්ලගේ අදහස්ද කණ්ඩායමට එක්වන බැවින් ඕනෑම අවස්ථාවක පිටිය මැද සාකච්ඡාවකදී උපාය වලින් දඹුල්ල පිලට අඩුවක් නොවනු ඇත.

මෙම කණ්ඩායම දඹුල්ල ‘වයිකිං‘ යනුවෙන් හඳුන්වා ඇත්තේ  උතුරැ යුරෝපීය  සහ ස්කැන්ඩිනේවියානු ඉතිහාසයේ සිටි අති දක්ෂ සටන්කාමීන් සමූහයක් වන ‘වයිකිංවරැන්‘ සිහිපත් කරමිනි. මෙම සන්නාමය සම්බන්ධයෙන් කණ්ඩායමේ හිමිකරුවා වන ඉන්දීය ජාතික සචින් ජෝෂි විශාල උනන්දුවක් දක්වයි. සචින් ජෝෂිගේ සමාගම් සමූහය හ‍ඳුන්වා ඇත්තේද වයිකිං වෙන්චර්ස් යන නමිනි.

ඉන්දියාවේ තෙළිගු වොරියර්ස් ක්‍රිකට් කණ්ඩායමේත් සම හිමිකරැවකු වන සචින් ජෝෂි එහි ක්‍රීඩකයකු ලෙසින්ද කටයුතු කරයි.

ක්‍රීඩකයන් 21 දෙනකුගෙන් සමන්විත වන දඹුල්ල වයිකින්ස් කණ්ඩායමට විදෙස් ක්‍රීඩකයෝ 6 දෙනෙක් ඇතුළත්ව සිටිති. ඔවුන් අතර ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයකු ලෙස අයර්ලන්ත කණ්ඩයමේ නායකත්වය දරණ තුන් ඉරියව් ක්‍රීඩක පෝල් ස්ටාර්ලින් හැදින්විය හැකිය‍. ස්ටාර්ලින්ට අමතරව එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සමීට් පතෙල්, පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක අන්වර් අලී, ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක සුදීප් ත්‍යාගි, ඇෆ්ඝනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක සමියුල්ලා ශින්වාරි සහ වේග පන්දු යවන ක්‍රීඩක අෆ්ටාබ් අලාම්ද ඒ අතර වෙති.

ඕෂධ ප්‍රනාන්දු, ඇන්‍ජලෝ පෙරේරා, ළහිරැ කුමාර, කසුන් රාජිත, මාලින්ද පුෂ්පකුමාර සහ ළහිරැ මධුෂංක යන ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් හිමිකරගත් ක්‍රීඩකයෝද දඹුල්ල කණ්ඩායම නියෝජනය කරති. රමේෂ් මෙන්ඩිස්, පුලින තරංග, අෂේන් බණ්ඩාර, දිල්ෂාන් මධුෂංක, කවිඳු නදීෂාන් සහ සචිඳු කොළඹගේ දඹුල්ල කණ්ඩායමට ඇතුළත්ව සිටින නැඟී එන ක්‍රීඩකයන් ලෙස හැඳින්විය හැකිය.

‍දඹුල්ල කණ්ඩා‍යමේ පුහුණුකරැ ලෙස එංගලන්ත ජාතික ඔවයිස් ෂා මහතා කටයුතු කරන අතර තමන් සතුව තරැණ සහ අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගේ සම්මිශ්‍රණයක් ඇති බව ඔහු පවසයි.

තරගාවලියේ තෙවැනි දිනය වන 28 වැනිදා මහනුවර ටස්කර්ස් කණ්ඩායමට එරෙහිව දඹුල්ල වයිකින්ස් කණ්ඩායම හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසෙයි.

 

දඹුල්ල සංචිතය
දසුන් ශානක, උපුල් තරංග, පෝල් ස්ටර්ලින්, සමීට් පතෙල්, අන්වර් අලී, සුදීප් ත්‍යාගි, ශමියුල්ලා ශින්වරි, අෆ්ටාබ් අලාම්, නිරෝෂන් දික්වැල්ල, ඕෂධ ප්‍රනාන්දු, ඇන්‍ජලෝ පෙරේරා, ළහිරැ කුමාර, කසුන් රාජිත, මාලින්ද පුෂ්පකුමාර, ළහිරැ මධුෂංක, රමේෂ් මෙන්ඩිස්, පුලින තරංග, අෂේන් බණ්ඩාර, දිල්ෂාන් මධුෂංක, කවිඳු නදීෂාන් සහ සචිඳු කොළඹගේ


අදහස් (0)

දඹුල්ලට උපායශීලීන්ගේ සිව් දෙනකුගේ සහාය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.