Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලයේ කටයුතු අත්හිටුවයි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලයේ කටයුතු අත්හිටුවයි

editorial - 2020 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු ක්‍රීඩා සම්මේලනය සහ ඔලිම්පික් කමිටුව (සැස්කොක්) විසින් දකුණු අප්‍රිකානු  ක්‍රිකට් මණ්ඩලය අත්හිටුවා තිබේ. එහෙත් මෙම  අත්හිටුවීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු ක්‍රීඩා සම්මේලනය සහ ඔලිම්පික් කමිටුව විසින් කරන ලද ප්‍රකාශය දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලය ප්‍රතික්ෂේප කරයි. 

දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි තබාං මොරෝගේ සේවය අත්හිටුවීමෙන් මාස නවයකට පමණ පසු ඔහුව සේවයෙන් නෙරපා හැරීමට තුඩු දුන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලය අපොහොසත් වී තිබේ. ඒ හේතුවෙන් දකුණු අප්‍රිකානු ක්‍රීඩා සම්මේලනය සහ ඔලිම්පික් කමිටුව (සැස්කොක්) විසින් දකුණු අප්‍රිකානු  ක්‍රිකට් මණ්ඩලය අත්හිටුවන බව ප්‍රකාශයට පත්කර තිබේ. 

දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලය මේ වන විට  අනුග්‍රාහකයන්ගෙන් සහ ජාතික කණ්ඩායම් ක්‍රීඩකයින්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ. දකුණු අප්‍රිකානු ක්‍රීඩා සම්මේලන සහ ඔලිම්පික් කමිටු (සැස්කොක්) වාර්තාවේ අන්තර්ගතය සමඟ ප්‍රමාණවත් ලෙස කටයුතු කිරීමට අපොහොසත් වී ඇති දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලය “ආත්මාර්ථකාමී” ලෙස කටයුතු කරන බවත්, සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත වාර්ෂික මහා සභා රැස්වීම කල් දැමා ඇති බවටත් චෝදනා එල්ල වෙයි. 

දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලයේ වාර්ෂික මහා සභා රැස්වීම මේ මස 5 වැනිදා පැවැත්වීමට නියමිතව තිබිණ. එහි සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ක්‍රිස් නෙන්සානි මහතා පසුගිය මාසයේදී ඉල්ලා අස්වූ අතර දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලයට නව සභාපතිවරයකු තෝරා පත් කර ගැනීමට නියමිතය.

"දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලය ‘සැස්කොක්‘ යෝජනාවට එකඟ නොවන අතර අදාළ ලියවිල්ලේ සටහන් විවිධ කරුණු සම්බන්ධයෙන් සැස්කොක් සමඟ සම්බන්ධ වීමට අවස්ථාවක්ද ලැබී නැත" යයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

"දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ ව්‍යාපාරික කටයුතුවලට මැදිහත් වීමට සැස්කොක් උත්සාහ ගන්නා පදනම සම්බන්ධයෙන්  නීති උපදෙස් ලබා ගැනීමටද අප බලාපොරොත්තු වෙනවා... කෙසේ වෙතත්, සැස්කොක් ස්ථාවරය අවබෝධ කර ගැනීමටත්, ක්‍රිකට් ක්‍රීඩාවේ යහපත උදෙසා එය සමඟ පොදු පදනමක් ඇතිව කටයුතු කිරීමටත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලය කැපවී සිටී"  යයිද එම නිවේදනයේ සටහන් වේ. 

මේ වන විටත් දැඩි විවේචනවලට ලක්ව ඇති දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලයේ ක්‍රියාකලාපය පිළිබඳව ගැඹුරින් විමර්ශනය කිරීම සඳහා මැදිහත් වීමක් අවශ්‍ය බව සැස්කොක්හි වැඩබලන ප්‍රධාන විධායක රවී ගෝවේන්දර්  මහතා රොයිටර් පුවත් සේවයට පැවසීය.

"දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණඩලය සම්බන්ධයෙන් මෑතකදී පැතිරී ඇති විවේචන පිළිබඳව අප දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටිනවා" යැයි ගෝවෙන්දර් මහතා පැවසීය. 

"අපි මණ්ඩලය හමුවී,  මේ ගැන කතා කළා. ක්‍රිකට් මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් කරන ලද වෝහාරික වාර්තාව බැලීමට ඉල්ලා සිටියත් ඒක ලැබෙන පාටක් පෙනෙන්නට නෑ"

"අන්තර්ජාතික ක්‍රිකට් සභාවත් එහි කටයුතු සම්බන්ධයෙන් යම් යම් ආකාරයෙන් කනස්සල්ල පළ කර තියෙනවා. ඒ නිසා අපගේ තීරණය අවශ්‍ය යැයි අපි විශ්වාස කරනවා. එය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයත් පිළිගනීවි" යයිද රවී ගෝවේන්දර්  මහතා රොයිටර් පුවත් සේවයට පැවසීය. 

මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලය සඳුදා (14 වැනිදා)  සැස්කොක් නියෝජිතයන් හමුවීමට ඉල්ලා ඇති බවද ගෝවෙන්දර් මහතා තහවුරු කළේය.

සැස්කොක් හෙවත් දකුණු අප්‍රිකානු ක්‍රීඩා සම්මේලනය සහ ඔලිම්පික් කමිටුව දකුණු අප්‍රිකාවේ ක්‍රීඩාව අධීක්ෂණය කරන සාර්ව බලධාරී ආයතනයයි. දක්‍රණු අප්‍රිකාවේ ක්‍රීඩා සම්මේලන වල කිසියම් අගතිගාමී පැවැත්මක් ඇත්තේ නම් ඒවා පාලනය කිරීමේ බලය සැස්කොක් වෙත තිබේ. 

- 213


අදහස් (0)

දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලයේ කටයුතු අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.