Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තමන්ගේ වටිනාකම සොයාගැනීමේ අභියෝගය

තමන්ගේ වටිනාකම සොයාගැනීමේ අභියෝගය

දමින්ද විජේසූරිය - 2021 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“එංගලන්තය පරද්දන්න අපට පුළුවන්..... එක එක්කෙනා තම තමන්ගේ වගකීම කරට ගන්නවා නම්, මේ ඉන්න එංගලන්ත කණ්ඩායම පරාජය කරන්න අවශ්‍ය ක්‍රීඩකයන් වගේම හැකියාවත් නිසැක වශයෙන්ම අපට තියෙනවා....”

“අපි දන්නවා අපි තරග කරන්නේ වඩාත් පළපුරුදු, තරග කිරීම අතින් වඩා හොඳ තත්ත්වයේ සිටින කණ්ඩායමකට එරෙහිවයි කියලා... ඒත් අපි මේ ක්‍රීඩා කරන්නේ අපේ රටේදී. අපේරටේ තියන තත්ත්වයන් ගැන අපි හොඳින්ම දන්නවා. පසුගිය කාලයේදී අපි ඉතාමත් හොඳින් මෙහි (ගාල්ල ක්‍රීඩාංගණයේදී) ක්‍රීඩා කරලා තියෙනවා.... ”

“පසුගිය තරග කිහිපයේදී අපි හොඳින් ක්‍රීඩා කළේ නෑ තමයි. ඒත් අපට හැකියාවන්ගෙන් අඩුවක් නෑ... හැකියාව තියෙනවා... අපි දන්න දේ තමයි හරියට ක්‍රීඩා කරනවා නම්, මේ ඉන්න එංගලන්ත කණ්ඩායම පරාජය කරන්න අවශ්‍ය ශක්තිය වගේම ක්‍රීඩකයනුත් අපට ඉන්නවා කියන එක” යයි අන්තර්ජාලය ඔස්සේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේය.

ඒ ඇන්ජලෝ මැතිව්ස් සිතන ආකාරයයි.

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (22 වැනිදා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට පෙර, කණ්ඩායමේ සිටින වඩාත්ම පළපුරුදු ක්‍රීඩකයා සිතන්නේ එලෙසිනි. දිගු කලක් තිස්සේ පවතින ශාරීරික අපහසුතා තරමක් දුරට තිබියදීත්, කණ්ඩායම වෙනුවෙන් ඕවර කිහිපයක් යැවීමටද මැතිව්ස් සූදානමින් සිටී.

වසර හයකට එපිටදී එංගලන්තයට ගොස් එංගලන්තයේදීම සිය ප්‍රතිවාදීන් පරාජය කළ කණ්ඩායමේ නායකයා එසේ සිතීම අරුමයක් නොවේ. හිටපු නායකයා එසේ සිතුවත්, මාස 36 ක් තරම් වූ කෙටි කාලයක් වෙනුවෙන් කෝටි 50 ක තක්සේරුවක් ඇති කණ්ඩායමක් සිතන්නේ කෙලෙසද.

හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට වඩාත් වැදගත් වන්නේ එම සිතිවිල්ලයි.

කණ්ඩායමේ අනුග්‍රාහකයන් වශයෙන් ඩයලොග් ආසියාටා සමාගම වසර තුනක් වෙනුවෙන් කළ ආයෝජනය රුපියල් මිලියන 503 කි. එවන් කණ්ඩායමක් සහ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් මේ දිනවල ක්‍රිකට් ලෝලීන්ට අහන්නට දකින්නට ලැබෙන්නේ මොනවාද ? අහන දකින සිදුවීම් හේතුවෙන් දස්කම් අතර සිටින ක්‍රීඩකයන්ට පවා කණ්ඩායමෙන් ඉවත් වන්නට සිදුවුවහොත් එහි අරුමයක් තිබේද ?

ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දී සිටින බරපතළම අර්බුදය මෙයයි. මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම ටෙස්ට් තරග 4 කින් පරාජය කර සිටින එංගලන්ත කණ්ඩායම මෙවර ඉලක්ක කරන්නේ 2-0 ක තරගාවලි සුද්දයකි.

පළමු තරගයේදී ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 135 කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වූ නමුත් සංචාරක කණ්ඩායමේ පුහුණුකරුවා කියන්නේ දෙවැනි තරගයේදී අනෙක් පන්දු යවන්නන් ද භාවිතා කළ හැකි බවයි. පළමු ටෙස්ට් තරගයට සහභාගි නොවූ පළපුරුදු පන්දු යවන්නන් වන ජේම්ස් ඇන්ඩසන්, ක්‍රිස් වෝක්ස් සහ ඔලී ස්ටෝන් එංගලන්ත කඳවුරේ සිටිති.

එංගලන්තය සැලසුම් කරන්නේ තමන්ගේ පන්දු යවන්නන් වෙහෙසට පත් නොකර, ඉදිරියේ එන ඉන්දීය සංචාරය සඳහාත් යොදාගැනීමයි. කෙසේ වෙතත් කොරෝනා ආසාදිතයකු වූ මුයින් අලීට හෙට තරගයේ ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් නැති බවද එංගලන්ත පුහුණුකරුවා පැවසීය.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයට පෙර එංගලන්තයට තවත් ටෙස්ට් තරග 5 ක් තිබේ. ඒ ශ්‍රී ලංකා පිලට එරෙහිව 1 ක් සහ ඉන්දියාවට එරෙහිව 4 ක් ලෙසිනි. මෙම තරග 5 දී එංගලන්තය ක්‍රීඩා කරන ආකාරය අනුව මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුණු පුවරුවේ 4 වැනි ස්ථානයේ සිටින එංගලන්තයට ඉහළ යාමේ අවස්ථාවක්ද තිබේ. ඉන්දියාවට එරෙහිව විශාල තරගාවලි ජයක් ලබාගතහොත් ලෝඩ්ස්හිදී පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයට පිවිසීමේ සියුම් අවස්ථාවක් එංගලන්තයට තිබේ.

එංගලන්තය දැන් ඉලක්කය අල්ලන්නේ එතැනටය.
 
අර්බුද රැසකට මුහුණ දී සිටින වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හෙට දවසේ තවත් අලුත් ක්‍රීඩකයකු එක්වීමේ අවස්ථාවක්ද තිබේ. පිට දඟ පන්දු යවන්නකු වන රමේෂ් මෙන්ඩිස්ට අද තරගයේදී ටෙස්ට් හිස්වැස්ම නොලැබෙන්නේ නම් චයිනමන් පන්දු යවන්නා වන ලක්ෂාන් ස`ඳකැන් කණ්ඩායමට එක්වීමේ වැඩි ඉඩක් තිබේ.

අද දවසේ පිටියට පිවිසෙන 11 දෙනා, කණ්ඩායම වෙනුවෙන් ඉදිරිපත් වීම ඔවුන්ගේ අද දවසේ යුතුකම වෙයි. එසේ නොවුණහොත් බිඳ වැටෙන්නේ කණ්ඩායමේත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේත් වටිනාකම පමණක් නොවේ, තම තමන්ගේම වටිකාකමයි.

සිතට ගත යුත්තේ එපමණකි.

 


අදහස් (0)

තමන්ගේ වටිනාකම සොයාගැනීමේ අභියෝගය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.