Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩීන් ජෝන්ස් දිවියෙන් සමුගනී

ඩීන් ජෝන්ස් දිවියෙන් සමුගනී

editorial - 2020 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ විස්තර විචාරක ඩීන් ජෝන්ස් මහතා හෘදයාබාධයක් හේතුවෙන් මුම්බායිහිදී අද (24 වැනිදා) අභාවප්‍රාප්ත විය. 1984 සිට 1994 දක්වා කාලය තුළ ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් පිතිකරුවෙකු ලෙස කටයුතු කළ ජෝන්ස් මහතා ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 52 ක් සහ එක්දින තරග 164 ක් ක්‍රීඩා කර ඇත.

ක්‍රිකට් විස්තර විචාරකයකු වශයෙන් ලෝ පුරා ජනාදරයට පත්ව සිටි ඩීන් ජෝන්ස් මහතා මියයන විට 59 වැනි වියේ පසුවිය. පුවත් පත් තීරු ලිපි රචකයකු වශයෙන්ද ජෝන්ස් මහතා ජනාදරයට පත්ව සිටියේය.

ජෝන්ස් මහතා 1987 දී පැවැති ලෝක කුසලානය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේද සාමාජිකයකුද වූයේය. 1987 ලෝක කුසලාන තරගාවලියේ තරඟ 8 කදී ලකුණු 314 ක් රැස් කරමින් එම තරගාවලියේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතර තුන්වැනියා විය.

ජෝන්ස් මහතා අසනීප වනවිට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ නිල රූපවාහිනි හිමිකරුවන ස්ටාර් ස්පෝර්ට්ස් කණ්ඩායම සමගින් එක්ව ඉන්දියාවේ සිට විශේෂ විස්තර විචාරයට සම්බන්ධ වීම සඳහා මුම්බායි නුවරට ගොස් සිටියේය.

“ඩීන් මර්වින් ජෝන්ස් මහතා අභාවප්‍රාප්ත වූ පුවත දැනගත් විට අපි මහත් කණගාටුවට පත්වුනා. ඔහු හදිසියේ හෘදයාබාධයකින් මිය ගියා. අපි ඔහුගේ පවුලේ අයට අපගේ ශෝකය ප්‍රකාශ කරන අතර මෙම දුෂ්කර අවස්ථාවේදී අපි ඔවුන්ට සහයෝගය දැක්වීමට සූදානම්ව සිටිනවා.”

“අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා අපි ඕස්ටේ්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලය සමඟ සම්බන්ධ වී සිටිනවා” යැයි ස්ටාර් ඉන්දියා සමාගම නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

“ ඩීන් ජෝන්ස් මහතා දකුණු ආසියාව පුරා ක්‍රිකට් සංවර්ධනය කිරීමට සම්බන්ධ වූ ක්‍රීඩාවේ විශිෂ්ට තානාපතිවරයෙකි. අලුත් දක්ෂතා සොයා ගැනීම සහ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් පෝෂණය කිරීම කෙරෙහි ඔහු දැඩි ඇල්මක් දැක්වූවා. ඔහු ශූර විචාරකයෙකු වූ නිසාම ලොව පුරා සිටින ඔහුගේ මිලියන සංඛ්‍යාත රසිකයින්ට ඔහු නැති අඩුව බොහෝ සෙයින් දැනෙනු ඇත” යයිද ස්ටාර් ස්පෝට්ස් ආයතනය පැවසීය.

1984 දී බටහිර ඉන්දීය කොදෙව්හි පැවති ටෙස්ට් තරඟයකදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ  ජෝන්ස් මහතා ලබාගත් ටෙස්ට් සහ එක්දින ලකුණු වල එකතුව 9500 ක් ඉක්මවා තිබිණ. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නාවිට ටෙස්ට් තරග වලදී ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 46.55 ක් වු අතර එක්දින තරග වලදී ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 44.61 ක් විය.

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් ලකුණු සමවීමෙන් අවසන්වී ඇත්තේ ටෙස්ට් තරග 2 ක් පමණි. පළමු තරගය 1960 වසරේදී ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර බි්‍රස්බේන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලකුණු සමවීමෙන් නිමා විය. දෙවැනි තරගය 1986 වසරේදී ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර මදුරාසියේ චිදම්බරම් ක්‍රීඩාංගණයේදි පැවැත්විණි. එම දෙවැනි තරගයට ක්‍රීඩාකළ ඩීන් ජෝන්ස් මහතා එහිදී ද්විත්ව ශතකයක් (210) ලබාගැනීමට සමත්විය.


- 2079


අදහස් (0)

ඩීන් ජෝන්ස් දිවියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.