Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ටෙස්ට් ක්‍රිකට් පිටියේදී තාත්තාගෙන් පුතාට දඬුවම්

ටෙස්ට් ක්‍රිකට් පිටියේදී තාත්තාගෙන් පුතාට දඬුවම්

editorial - 2020 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැන්චෙස්ටර්හිදී පාකිස්තානයට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගයේදී ක්‍රීඩක විනය නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ තරග ගාස්තුවෙන් 15% ක මුදලක් දඩ වශයෙන් නියම කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරකවරයා තීරණය කර තිබේ. මෙම දඩ මුදල ස්ටර්ලිං පවුම් 2250 ක් හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ පහ ඉක්මවන්නකි.

ස්ටුවර්ට් බ්‍රෝඞ්ට මෙම දඩ මුදල නියම කර ඇත්තේ අන් කිසිවකු නොව ඔහුගේම පියා වන ක්‍රිස් බ්‍රෝඞ් මහතාය. එංගලන්තට ටෙස්ට් පිලේ හිටපු ආරම්භක පිතිකරුවකු වන ක්‍රිස් බ්‍රෝඞ් මහතා එංගලන්ත - පාකිස්තානු ටෙස්ට් තරගාවලියේ තීරකවරයා වශයෙන් කටයුතු කරයි.

ස්ටුවර්ට් බ්‍රෝඞ් පාකිස්තාන දෙවැනි ඉනිමේ 46 වැනි ඕවරය යවමින් සිටියදී යසීර් ෂා හමුවේ දරුණු ප්‍රහාරයකට ලක්විය. එම තරගයේදී පන්දු 16 ක් ඇතුළත ලකුණු 32 ක් ලබාගත් යසීර් ෂා  දවාගැනීමෙන් පසුව ක්‍රීඩාගාරයට ඇවිද යමින් සිටියදී බ්‍රෝඞ් නුසුදුසු වචන භාවිතා කර තිබේ.

තරගයේදී විනිසුරුවන් ලෙස කටයුතු කළ රිචඞ් කෙට්ල්බරෝ සහ රිචඞ් ඉලිංවර්ත්, තෙවැනි විනිසුරු මයිකල් ගෆ් සහ සිව්වැනි විනිසුරු ස්ටීව් ඕ’ ෂාහානෙසි විසින් ස්ටුවර්ට් බ්‍රෝඞ්ට එරෙහිව ඔහුගේ පියා වන තරග තීරක ක්‍රිස් බ්‍රෝඞ් මහතාට පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබූහ.

ක්‍රීඩකයන් සහ ක්‍රීඩකයන්ගේ සහායකයන් සඳහා වූ විනය නීති පද්ධතියේ 2.5 වැනි වගන්තිය අනුව එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් පන්දු යවන්නා අභියෝග නොකරයි. එබැවින් විනය පරීක්‍ෂණයකින් තොරවම බ්‍රෝඞ්ට දඩ නියම කිරීමටත් අගති ලකුණක් එකතු කිරීමටත් ක්‍රිස් බ්‍රෝඞ් මහතා පියවර ගත්තේය. දඩ නියම වීමෙන් පසුව ස්ටුවර්ට් බ්‍රෝඞ් කවට කමට කියා ඇත්තේ මේ වසරේ තමන්ගේ නත්තල් සුබපැතුම් සහ තෑගි යවන්නන්ගේ ලයිස්තුනේ තම පියාව කපා හරින බවයි.

ජාත්‍යන්තර තරගයකදී ක්‍රීඩකයයකු හෝ ක්‍රීඩිකාවක දවාගැනීමෙන් අනතුරුව ඔහුට හෝ ඇයට අනුචිත වචන භාවිතා කරමින් ආමන්ත්‍රණය කිරීම හෝ ආක්‍රමණශීලී ලෙස ප්‍රතිචාර දැක්වීම ක්‍රීඩක විනය නීති පද්ධතියේ පළමු මට්ටමේ නීති පද්ධතිය උල්ලංඝණය කිරීමකි.  අවසන් මාස 24 ක කාලය තුළ බ්‍රෝඞ් විසින් කරන ලද තෙවැනි වරද මෙය වන අතර ඒ අනුව ඔහුගේ විනය වාර්තාවට එක්ව ඇති අගති ලකුණු සංඛ්‍යාව 3 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මින් පෙර මෙම වසරේ (2020) ජනවාරි මස 27 වැනිදා වොන්ඩරර්ස්හිදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති සිව්වනි ටෙස්ට් තරගයේදී මෙන්ම 2018 වසරේ අගෝස්තු මස 19 වැනිදා ටේ‍රන්ට්බි්‍රජ්හිදී ඉන්දියාවට එරෙහිව පැවැති තෙවැනි ටෙස්ට් තරගයේදීද විනය කඩ කිරීම් හේතුවෙන් බ්‍රෝඞ්ගේ නමට ඉදිරියෙන් අගති ලකුණු සටහන් විය.

මෙම අගති ලකුණු වසර දෙකක් පුරා ක්‍රීඩකයකුගේ නම ඉදිරියෙන් සටහන් වී තිබෙන අතර අගති ලකුණු සංඛ්‍යාව 4 ක් වුවහොත් එම ක්‍රීඩකයාට ටෙස්ට් තරගයක තහනමක් පැනවෙනු ඇත.


-036


අදහස් (0)

ටෙස්ට් ක්‍රිකට් පිටියේදී තාත්තාගෙන් පුතාට දඬුවම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.