Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජෝ රූට් හුදෙකළා සටනක

ජෝ රූට් හුදෙකළා සටනක

රොෂාන් ගුණරත්න - 2021 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නායක ජෝ රූට් හුදකලා පිතිහරඹයක නිරත වෙමින් රැස්කළ ලකුණු 186 හේතුවෙන් සත්කාරක ශ්‍රී ලංකා පිලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (24 වැනිදා) තරගය නතර කරනවිට එංගලන්ත පළමු ඉනිම සඳහා කඩුලු 9 කට ලකුණු 339 ක් රැස්කර ගෙන සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 42 ක් පසු පසින් එංගලන්තය පසුවන්නේය.

අද දිනයේ ක්‍රීඩාව අවසන් කිරීම සඳහා අවසන් ඕවරය ඩිල්රුවන් පෙරේරා යවමින් සිටි අතර ඉතා දක්ෂ පන්දු රැකීමක නිරත වූ ඕෂධ ප්‍රනාන්දු එංගලන්ත නායකයා දුවද්දී දවාගත්තේය. ඒ සමගම ජෝ රූට්ගේ විනාඩි 495 ක ඉනිම නිමාවට පත්වූයේ 5 වැනි ද්විත්ව ශතකය ඔහුට අහිමි කරමිනි. 

ඩිල්රුවන්ගේ පන්දුවකට අඩියක් ඉදිරියට පැමිණ පහරක් ගැසීමට යාමේදී ෆෝවර්ඩ් ෂෝට් ලෙග්හී පන්දු රකිමින් සිටි ඕෂධ ප්‍රනාන්දු රැකගත් පන්දුව එසැනින් නැවතත් කඩුල්ලට දමාගැසීමත් සමගින් රූට්ගේ ඉනිම අවසන් විය. පන්දු 309 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි රූට්ගේ ඉනිමට හතරේ පහර 18 ක් ඇතුළත් විය.

ටෙස්ට් ලකුණු 8238 ක් ලබාගෙන ඇති ජෝ රූට් ඊයේ දිනයේදී එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර සිවුවැනි ස්ථානය දක්වා පියවර දෙකක් ඉදිරියට පා තැබීය. දෙවැනි ටෙස්ට් තරගයට ආරම්භයට පෙර වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර හයවැනි ස්ථානයේ සිටි රූට් ඔහුට ඉදිරියෙන් සිටි ඩේවිඩ් ගවර් සහ කෙවින් පීටර්සන් පසුකර ගියේය. 

දෙවැනි දිනය වූ ඊයේ තරගය අවසන් කරන විට ලකුණු 98 කට කඩුලු 2 ක් අහිමිකරගෙන සිටි එංගලන්ත පිලේ තවත් කඩුලු දෙකක් අද උදෑසන දවාගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සමත්විය. මංගල තරගයේදීම පිත්තෙන් දස්කම් දැක්වූ ඩැනියෙල් ලෝරන්ස් සහ වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටිමින් ඉනිම ගොඩනැගීමට හැකියාව ඇති ජොනී බෙයාර්ස්ටෝ ඉක්මනින්ම පිටියෙන් ඉවත් කිරීමට හැකිවිම ශ්‍රී ලංකා පිලට මහත් සැනසිල්ලක් විය.

ජොනී බෙයාර්ස්ටෝ පන්දු 73 කට මුහුණදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 28 ක් පමණක් රැස්කළද නායක ජෝ රූට් සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 111 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය. එහිදී රූට්ගේ පිත්තෙන් ලකුණු 80 ක් එංගලන්ත ඉනිමට එක්විය.

ජෝ රූට් සමගින් ඩෑන් ලෝරන්ස්ට පිටියේ ස්ථාවර විමට අවස්ථාවක් ලබානොදුන් ලසිත් ඇඹුල්දෙණිය ඔහුව ලකුණු 3 කට පිටියෙන් ඉවත් කළේය. ලකුණු 132 කට කඩුලු 4 ක් බිඳ වැටීමෙන් අඩපණ වූ එංගලන්ත ඉනිම නැවත ගොඩනැගීමට ජෝ රූට් සහ ජොස් බට්ලර් සමත්වූහ. පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 99 ක සම්බන්ධතාවයක් ගොඩනගා සිටියදී රමේෂ් මෙන්ඩිස්ගේ මංගල කඩුල්ල ලෙස ජොස් බට්ලර් දැවී ගියේය. 

රිවර්ස් ස්විප් පහරක් ගැසීමට යාමේදී පිත්තේ යට කොටසේ වැදුණු පන්දුව ඔහුගේ සපස්තුවේ වැදී ෂෝර්ට් ලෙග්හී පන්දු රකිමින් සිටි ඕෂධ ප්‍රනාන්දු අතට ගියේය. පිටියේ විනිසුරු කුමාර ධර්මසේන මහතාට තීරණයක් ලබාදීමට අපහසුවීම නිසා තෙවැනි විනිසුරු ලෙස කටයුතු කරන ලින්ඩන් හැනිබල් මහතා වෙත යොමු කළ අතර එහිදී පුනරූපණ නැරඹූ තෙවැනි විනිසුරුවරයා දැවීයාමක් ලෙස තීරණය කළේය. පන්දු 95 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි ජොස් බට්ලර් හතරේ පහර 7 ක් සමගින් ලකුණු 55 ක් ලබාගත්තේය.

ලසිත් ඇඹුල්දෙණියට එරෙහිව ජෝ රූට් ලබාගත් හතරේ පහරත් සමගන් නැවතත් සෑම් කරන් විසින් ඩිල්රුවන් පෙරේරාට එල්ල කළ හයේ පහර වනතෙක් පන්දු 78 ක් පුරා එංගලන්ත පිතිකරුවන්ගෙන් හතරේ පහරක් එල්ල නොවිමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ වගබලා ගත්හ. නොසිතූ ලෙස ඉක්මනින්ම කඩුලු කිහිපයක් බිඳවැටීම හේතුවෙන් ලකුණු ලබානොගත්තද කඩුලු ආරක්‍ෂා කරගැනිමට පිතිකරුවෝ සැලකිලිමත් වූහ.

පරණ පන්දුවට වඩා අලුත් පන්දුවෙන් පන්දු යැවීමට වැඩි කැමැත්තක් දක්වන ලසිත් ඇඹුල්දෙණිය අලුත් පන්දුව ලබාගත් පළමු ඕවරයේදීම සිය පස්වැනි කඩුල්ල ලෙස සෑම් කරන් පිටියෙන් ඉවත් කිරීමට සමත්විය. ඇඹුල්දෙණියගේ පන්දු හමුවේ ආරක්‍ෂාකාරී පියවරක් අනුගමනය කිරීමට යාමේදී සෑම් කරන්ගේ පිත්තේ දාරයේ වැදුණු පන්දුව ස්ලිප්හි පන්දු රකිමින් සිටි ළහිරු තිරිමාන්න රැක ගැනීමට සමත්විය. ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 5 ක් දවාගත් තෙවැනි අවස්ථාව ලෙස සටහන් වන්නේය.

ඩොම් බේස් දැවීයාමට පෙර ලසිත් ඇඹුල්දෙණිය යැවූ එම ඕවරයේම පන්දු දෙකකට පෙර දෙවැනි ස්ලිප්හි පන්දු රකිමින් ඕෂධ ප්‍රනාන්දු වෙත ලබාදුන් උඩපන්දුව රැකගත්තද තෙවැනි විනිසුරු විසින් පුනරූපණ නැරඹීමේදී උඩපන්දුව රැකගන්නා අවස්ථාවේදී පන්දුව බිම වැදුණු බව දැකගත හැකිවිය. තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමේ වාසනාව ඩොම් බේස්ට හිමිවුවද පන්දු දෙකට පමණක් එය සීමාවිය. ඉහළ නැගි පන්දුව ඩොම් බේස්ගේ (32) පිත්තේ දාරයේ වැදී පළමු ස්ලිප්හී පන්දු රකිමින් සිටි ළහිරු තිරිමාන්න රැකගැනීමත් සමගින් ඇඹුල්දෙණියගේ කඩුලු සංඛ්‍යාව 6 දක්වා ඉහළ නැගි අතර 7 වැනි කඩුල්ල ලෙස මාක් වුඩ් පිටියෙන් ඉවත් කළේය.

මින් පෙර ලකුණු 65 කට කඩුලු 5 ක් දවාගනිමින් සිය හොඳම පන්දු යැවීම වාර්තා කර සිටි ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 132 කට කඩුලු 7 ක් දවාගනිමින් සිය හොඳම පන්දු යැවීමේ වාර්තාව අලුත් කිරීමට සමත්විය.

කඩුලු රකින්නෙකු නොවන පන්දු රකින්නෙකු විසින් ඉනිමකදී රැකගත් වැඩිම උඩපන්දු සංඛ්‍යාවේ වාර්තාව සමකිරීමට ළහිරු තිරිමාන්න සමත්විය. ඔහුට ඉදිරියෙන් උඩපන්දු 5 බැගින් රැකගත් පන්දු රකින්නන් 12 දෙනෙකු සිටින අතර හෙට දිනයේදී එම වාර්තාව තම නම ඉදිරියෙන් සටහන් කරගැනීමට තිරිමාන්නට තවමත් අවස්ථාව ඇත.

 

 


අදහස් (0)

ජෝ රූට් හුදෙකළා සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.