Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජෙරම් තාවකාලිකව ක්‍රිකට් කළමණාකරු ධූරයට

ජෙරම් තාවකාලිකව ක්‍රිකට් කළමණාකරු ධූරයට

දමින්ද විජේසූරිය - 2021 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන මාසයේදී පැවැත්වෙන බටහිර ඉන්දීය සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු වශයෙන් ජෙරම් ජයරත්න මහතා පත්කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වශයෙන් කටයුතු කරන ජයරත්න මහතා මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දස්කම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා වශයෙන්ද කටයුතු කරයි. ජයරත්න මහතා වරක් ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරුවා ලෙසින්ද කටයුතු කළ අතර දීර්ඝ කාලයක් පුහුණු අධ්‍යක්‍ෂවරයා වශයෙන් කටයුතු කළ අයෙකි.

කෙසේ වෙතත් මෙය ස්ථාවර පත්කිරීමක් නොවන බවත්, කණ්ඩායමේ කළමණාකරු වශයෙන් සුදුසු නිලධාරියකු තෝරා ගන්නා තුරු එම තනතුරේ කටයුතු සොයා බැලීම සඳහා කළ තාවකාලික පත්කිරීමක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා තහවරු කළේය.

“කොදෙව් සංචාරය මාසයක විතර කාලයක් තියෙනවා. අපට ස්ථාවර කළමණාකරුවකු සොයාගන්න ඒ කාලය ඇති” යයිද ශම්මි සිල්වා මහතා පැවසීය.

දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු අධ්‍යක්‍ෂවරයා ලෙසින් කටයුතු කළ හෙයින් ජාතික කණ්ඩායමේ දැනට සිටින බොහෝ ක්‍රීඩකයන් ගැන ජයරත්න මහතා හොඳින් දනී. එබැවින් ක්‍රීඩකයන් පාලනය කරගැනීමේ හැකියාව මෙන්ම ක්‍රීඩකයන්ගේ ගෞරවය ඔහුට ලැබෙන බවද නොරහසකි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එහි ක්‍රීඩකයන්ගේ ක්‍රියාකළාපය සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය අතරේ පැතිරීගිය තොරතුරු හේතුවෙන් එංගලන්ත තරගාවලියට පසුව තමන් කළමණාකරු තනතුරෙන් ඉවත් වන බව අසන්ත ද මැල් මහතා පැවසීය. කෙසේ වෙතත් මෙම තත්ත්වය ඇතිවීමට කොරෝනා මර්ධන කටයුතු සම්බන්ධයෙන් පත්කළ ඇතැම් නිලධාරීන්, තමන්ගේ සීමාව ඉක්මවා කටයුතු කිරීමත් හේතුවක් වූ බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීහුම කියති.

වසර ගණනාවක සිටම ශ්‍රී ලංකා කණ්ඩායමේ තනතුරු බාරගැනීමට සුදුසුකම් ඇති අය පසුබසිමින් සිටිති. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාතික පුහුණුකරුවා වශයෙන් කටයුතු කරමින් සිටි ග්‍රැහැම් ෆෝඩ් මහතා වසර 2018 මැද භාගයේදී නොකියාම යන්න යාමෙන් පසුව කණ්ඩායමේ නිලධාරීන් සහ පුහුණුකරුවන් සම්බන්ධයෙන් අර්බුද ගණනාවක් ඇතිවිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය මෙන්ම ගනු ලබන තීන්දු තීරණද අස්ථාවර වූ හෙයින් පුහුණුකරු තනතුර මෙන්ම කළමණාකරු තනතුර බාරගැනීමට මනා සුදුසුකම් ඇති අය ඉදිරිපත් නොවූහ. මෙම තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගත් ක්‍රීඩකයෝ පත්ව එන නිලධාරීන් තමන්ට රිසි පරිදි නම්මා ගනිමින් කටයුතු කළහ.

අසන්ත ද මැල් මහතා වැඩිදුරටත් පවසා සිටියේ තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටි තමා, 2019 ලෝක කුසලාන තරගාවලියට පෙර මෙම තනතුර බාරගත්තේ තාවකාලික පදනමක් මත බවයි. එහෙත් කළමණාකරු තනතුරට වෙනත් අයකු පත් නොවූ බැවින් තමන්ට දිගින් දිගටම එහි රැඳී සිටීමට සිදුවූ බවද අසන්ත ද මැල් මහතා පැවසීය.

ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය සංචාරයට ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක් ඇතුළත් වේ. සෝබර්ස් - තිසේරා කුසලාන වෙනුවෙන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියටද අයත් තරගාවලියකි.

 


අදහස් (0)

ජෙරම් තාවකාලිකව ක්‍රිකට් කළමණාකරු ධූරයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.