Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව්වෝ තරගයේ පාලනය අතට ගනිති

කොදෙව්වෝ තරගයේ පාලනය අතට ගනිති

editorial - 2020 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අල්සාරි ජෝෂප් (40/2) සහ ෂැනන් ගේබ්‍රියෙල් (62/3) දෙදෙනාගේ ආක්‍රමණශීලී පන්දු යැවීමත් මන්දගාමී තණතීරුවකදී රොස්ටන් චේස් (71/2) ලබාගත් සහයෝගයත් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වෝ සදම්ප්ටන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඉතාමත් වාසිදායක ස්ථාවරයක් අත්කරගෙන සිටිති. තරගයේ සිව්වැනි දිනය වන අද (11 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට එංගලන්ත දෙවැනි ඉනිමේදී ලකුණු 284 කට කඩුලු 8  ක් බිමදැමූ කොදෙව්වෝ එංගලන්ත පිලේ වාසිය ලකුණු 170 සීමාවේ තබාගත්හ.


තරගයේ සම්පූර්ණ දිනයක් ඉතිරිව තිබෙන අතර අවසන් දිනයේදී යැවිය යුතු ඕවර සංඛ්‍යාව 98 කි. දිනයක් ඇතුළතදී හඹා යායුතු ලකුණු සංඛ්‍යාව අනුව කොදෙව් පිල වාසිදායක ස්ථාවරයක සිටියද පස්වැනි දිනයේ තණතීරුවක ස්වභාවය සලකා බැලීමේදී මෙම තරගය ඉතාමත් තියුණු අවසානයක් කරා ඇදී යමින් තිබෙන බව පෙනේ.

ලකුණු 114 ක මුල් ඉනිමේ අවාසියකට මුහුණ දී සිටි සත්කාරක එංගලන්ත කණ්ඩායම අද දිනයේ දිවා ආහාරය වන විට කඩුල්ලක් දැවී ලකුණු 79 ක් ලබා සිටියේය. ඒ වන විටත් ලකුණු 35 ක් පසුපසින් සිටි එංගලන්ත පිල වෙනුවෙන් ඩොම් සිබ්ලි (50), සැක් ක්‍රෝලි (76) සහ බෙන් ස්ටෝක්ස් (46) මහත් සටනක නිරත වූ නමුත් අල්සාරි ජෝෂප් සහ නායක ජේසන් හෝල්ඩර් දෙදෙනා එක්ව ලකුණු 16 ක් තුළදී පිතිකරුවන් තිදෙනකු ආපසු ක්‍රීඩාගාරයට යවමින් තරගයේ වාසිය තමන් වෙත ඇදගත්හ.

සැක් ක්‍රෝලි සහ බෙන් ස්ටෝක්ස් අතර සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 98 කි. එහෙත් මෙම සම්බන්ධතාව බිඳ දැමීමත් සමගම ඉතාමත් වේගයෙන් තරගයට අවතීර්ණ වූ කොදෙව්වෝ ලකුණු 30 ක් ඇතුළත කඩුලු 5 ක් දවාගත්හ.

ස්ටෝක්ස් දැවී යාමට පෙර එංගලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 249 ක් ලබා සිටියද කොදෙව් නායක හොල්ඩර් සිය ප්‍රතිවාදියා පිටියෙන් ඉවත් කළේ ‘ගලී’ ස්ථානයේ පන්දු රකින්නන් දෙදෙනකු රඳවා අපූරු උගුලක් අටවමිනි. පිට ඉන්නට එපිටින් පතිත වූ හෝල්ඩර්ගේ පන්දුව ස්ටෝක්ස්ගේ පිත්තේ පිටත දාරයේ වැදී ගලී හි සිටි ෂායි හෝප්ගේ දෑත් අතර සැඟවී ගියේය. එයින් පන්දු හයකට පසුව අල්සාරි ජෝෂප්ගේ පන්දුවකට ෆ්ලික් පහරක් ගැසීමට උත්සාහ කළ සැක් ක්‍රෝලි පන්දු යැවූ අල්සාරි ජෝෂප්ට පහසු උඩපන්දුවක් දුන්නේය.

පැය තුනකට ආසන්න වූ සැක් ක්‍රෝලිගේ ඉනිම අවසන් වන විට දකුණත් පිතිකරුවා පන්දු 127 කට මුහුණ දෙමින් ඒවායින් 8 ක් හතරේ සීමාව කරා යවා තිබිණ.

ලකුණු 4 ක් ඇතුළත ප්‍රබලතම පිතිකරුවන් දෙදෙනකු දවාගැනීමෙන් ප්‍රාණවත් වූ අල්සාරි ජෝෂප් එංගලන්ත කඩුලු රකින්නාගේ පා  ආවරණයත් පිත්තත් අතරින් පන්දුව යවා ඔහුගේ පා ඉන්න බිම දැම්මේය. එතැන් සිට එංගලන්තයට තිබුණේ ආරක්‍ෂාකාරී වීම නමුත් මුලු ලකුණු සංඛ්‍යාව 278 වෙද්දී ෂැනන් ගේබ්‍රියෙල් පැමිණ එකම ඕවරයකදී පන්දු 5 ක් ඇතුළත එංගලන්ත පිලේ තවත් පිතිකරුවන් දෙදෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවීය.

මුල් ඉනිමේ අවාසිය තරමක් බරපතළ වූවද ආරම්භක පිතිකරුවන් වූ ඩොමිනික් සිබ්ලි සහ රෝරි බර්න්ස් දෙදෙනාම දිවා ආහාරයට පෙර ෂැනන් ගේබ්‍රියෙල් සහ කෙමර් රෝච්ගේ පන්දු හමුවේ ධෛර්යවත් පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි බර්න්ස් සිතුවාට වඩා තරමක් ඉහළ නැගි රොස්ටන් චේස්ගේ පිට දඟ පන්දුවකට බැක් කට් පහරක් ගැසීමට යාමේදී බැක්වර්ඞ් පොයින්ටි හි සිටි ජෝන් කැම්බල් අතට උඩපන්දුවක් ලැබිණ.

මෙම ලකුණු 72 සම්බන්ධතාව වසර 2017 සිටම එංගලන්ත ටෙස්ට් පිල වෙනුවෙන් වාර්තා වූ ආරම්භක කඩුල්ලේ හොඳම සම්බන්ධතාව විය. දිවා ආහාරයට විනාඩි කිහිපයක් තිබියදී පිටියට පිවිසි ජෝ ඩෙන්ලිට (නොදැවී 01) අල්සාරි ජෝෂප් ඉතා වේගවත් පන්දු වැලක්ම යැවූ නමුත් ඩෙන්ලි දිවා ආහාරයට පෙර විනාඩි 19 ක් පුරා සිය කඩුල්ල ආරක්ෂා කරගත්තේය. එහෙත් ඩෙන්ලිට ලබාගත හැකිවූයේ ලකුණු 29 ක් පමණි.

ප්‍රේක්‍ෂකයන් කිසිවකු ඇතුළත් කර නොගෙන, සියලුම ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් දිනපතා පරීක්‍ෂා කරමින් පැවැත්වෙන මෙම තරගය, එංගලන්තය සහ කොදෙව් පිල අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත තරගාවලියේ පළමු වැන්නයි. තරගය සඳහා දේශීය විනිසුරුවරුන් මෙන් දේශීය තරග තීරකවරයකු සහභාගි වන අතර කෙළ ගෑමෙන් පන්දු ඔප දැමීම  තහනම් වේ.
 
එංගලන්තය - පළමු ඉනිම 204
බටහිර ඉන්දීය කොදෙව් පිල - පළමු ඉනිම 318
එංගලන්තය - දෙවැනි ඉනිම කඩුලු 8 ක් දැවී 284

(රෝරි බර්න්ස් 42, ඩෙමිනික් සිබ්ලි 50, ජෝ ඩෙන්ලි 29, සැක් ක්‍රෝලි 76, බෙන් ස්ටෝක්ස් 46, ඔලී පෝප් 12, ෂැනන්
ගේබ්‍රියෙල් 62/3, ජේසන් හෝල්ඩර් 43/1, රොස්ටන් චේස් 71/2, අල්සාරි ජෝෂප් 40/2)

 

- 213


අදහස් (0)

කොදෙව්වෝ තරගයේ පාලනය අතට ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.