Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් ක්ෂේත්‍රය යළි කැළඹෙයි

ක්‍රිකට් ක්ෂේත්‍රය යළි කැළඹෙයි

දමින්ද විජේසූරිය - 2020 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනකුට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය පරීක්ෂණ පවත්වන බව ක්‍රීඩා ඇමතිවරයා කියා සිටියද එය කිසිසේත්ම වත්මන් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පාසල් වෙත ක්‍රිකට් ආම්පන්න සහ මුදල් බෙදා දීම සඳහා පසුගියදා පැවැති උත්සවයකදී ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා  කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබිණ. අමාත්‍යවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප නොකිරීමට පරෙස්සම් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...

“ගරු ඇමතිතුමා විසින් සඳහන් කරන්නට ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ශ්‍රී ලංකා පිලේ හිටපු ක්‍රීඩකයන් තිදෙනකුට එරෙහිව ආරම්භ කරන ලද පරීක්ෂණයක් සම්බන්ධයෙන් විය හැකි බවත්, එය වත්මන් ක්‍රීඩකයන්ට එරෙහිව නොවන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් තරයේ විශ්වාස කරයි“ සිය නිවේදනයේ  සටහන් කර තිබිණ.

කෙසේ වෙතත් ක්‍රීඩා ඇමතිවරයාගේ ප්‍රකාශය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයම හදිසියේ කැළඹීමට පත්විය. ඇතැම් ක්‍රීඩකයන්ගේ නම් අනුමාන වශයෙන් සඳහන් කරමින්  දිගින් දිගටම විමසීම් කෙරුණේ වසර ගණනාවක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අමිල මෙහෙවරක් කළ ක්‍රීඩකයන්ගේ කීර්තිනාමයද නැවත වරක් ප්‍රශ්න කරමිනි.

ඇමතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ඊයේ (4 වැනිදා) කළ විමසීමකදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිල ප්‍රකාශකයකු පවසා සිටියේ එවන් පරීක්ෂණ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ප්‍රසිද්ධියේ කිසිවක් හෙළිදරව් නොකරන බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කළ විමසීමකදී හෙළිදරව් වූයේ වසර 2017 දී ඩුබායිහිදී පැවැති දහයයි-10 (ටී-10) තරගාවලියකදී වූ සිදුවීමක් වාර්තා නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් තිදෙනකු සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය ඇමතිවරයාගේ ප්‍රකාශයට පදනම් වී තිබෙන බවයි.

වසර 2017 දී ඩුබායිහි පැවැති දහයයි-10 තරගාවලිය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අනුමැතිය නැතිව පැවැති පෞද්ගලික ක්‍රිකට් තරගාවලියකි. එහි හිමිකරුවා වූයේ
සාජි අල් මල්ක් නැමැත්තෙකි.

මෙම දහයයි-10 තරගාවලියට විවිධ ආකාරයෙන් සම්බන්ධ වූ ශ්‍රී ලංකා පිලේ හිටපු ක්‍රීඩකයන් වන අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටි තිදෙනාටම මීට වසරකට පමණ ඉහතදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් චෝදනා එල්ල කරනු ලැබ තිබිණ. එහෙත් එම චෝදනා සියල්ලටම අභියෝග කළ අවිශ්ක ගුණවර්ධන කියා සිටියේ තමන් එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලයට කිසිදු බැඳීමක් නැති බවත්, එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලයේ නීති රීති අනුව තමන්ට චෝදනා එල්ල කරන්නේ කුමන පදනමක් ඇතිවද යන්න පහදා දිය යුතු බවත්ය.

“මම අන්තර්ජාතික ක්‍රිකට් සභාවට බැඳිලා ඉන්නවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බැඳිලා ඉන්නවා. ඒත් එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලයට බැඳිලා නෑ... එහෙනම් කොහොමද එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලයේ තියෙන වගන්ති අනුව මට චෝදනා දාන්නේ...“
යයි අවිශ්ක ගුණවර්ධන මහතා විමසයි.

“අනෙක මේ ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් වන කාරණාවක් නෙමේ. කිසියම් පුද්ගලයෙක් සම්බන්ධයෙන් අපි වාර්තා කළේ නෑ කියන එකයි මෙතන තියෙන්නේ... මම මේ කරුණු සම්බන්ධයෙන් මගේ නීතිඥවරයා මගින් අන්තර්ජාතික ක්‍රිකට් සභාවටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් ලිව්වා. ලියලා ඉල්ලුවේ එක දෙයයි... මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න මම ඒකට සූදානම් කියලා... “

“මම මේ ගැන අන්තර්ජාතික ක්‍රිකට් සභාවට විතරක් නෙමේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත්, හිටපු වගේම වත්මන් ක්‍රීඩා ඇමතිවරුන්ටත්, ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් ලියලා පරීක්ෂණයක් ඉල්ලුවා..ඒත් දැන් ඒක ඉල්ලලා අවුරුද්දකටත් වැඩියි... තව අද වෙනතුරු කිසිම උත්තරයක් නෑ.. එහෙනම් දැන් ඇයි ඒවා ගැන කතා කරන්නේ...“

“මම ඉල්ලන්නේ විධිමත් පරීක්ෂණයක් තියන්න කියලයි. මොකද මම පරීක්ෂණයකට මුහුණ දෙන්න බය නැති නිසා... ඒත් පරීක්ෂණයක් නැතිවම මාව වැරදිකාරයෙක් කරලා... ඒ හින්දා මට පුහුණුකරුවෙක් හැටියට රස්සාවක් කරගන්නත් බෑ“ යයිද ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩා සමාජයක් වන එස්.එස්.සී. පිලේත් පුහුණුකරුවා වූ අවිශ්ක ගුණවර්ධන මහතා පැවසීය.  

වසර 2017 දී ඩුබායි හිදී පැවැති තරගාවලියේ සිදුවීම් සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් එල්ල වූ චෝදනා මත අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ මේ වන විට ක්‍රිකට් තහනමකට ලක්ව සිටිති.
 


අදහස් (0)

ක්‍රිකට් ක්ෂේත්‍රය යළි කැළඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.