Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕෂධ - වනිඳු ශ්‍රී ලංකාව දිනවති

ඕෂධ - වනිඳු ශ්‍රී ලංකාව දිනවති

editorial - 2019 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයට එරෙහිව ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 13 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව, දෙරට අතර පැවැති විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට සමත් විය. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් නොමැතිව විස්සයි20 අංක එකේ කණ්ඩායම වූ පාකිස්තානය පරාජය කිරීමට නවකයන් රැසකගෙන් සමන්විත වූ කණ්ඩායමක් සමත් වීම මේ වසර තුළදී ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 134 කට සීමා කිරීමට වනිඳු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ වනිඳු, ලකුණු 27 කට කඩුලු 3 ක් දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට මඟ පෑදුවේය.

පාකිස්තාන ඉනිමේ 16 වැනි ඕවරයේ පළමු පන්දුවේදී හාරිස් සොහේල් පිටියෙන් ඉවත් කළ වනිඳු ඉන් නොනැවතී, 18 වැනි ඕවරයේ පළමු සහ අවසන් පන්දුවලදී පිළිවෙලින් අසීෆ් අලී (1) සහ නායක සර්ෆරාස් අහමඞ් (17) දවාගනිමින් පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රාහී මාර්ගය අවහිර කළේය.

පාකිස්තාන කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ හාරිස් සොහේල්, පන්දු 50 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග සමග ලකුණු 52 ක් රැස්කිරීමට සමත් විය. බාබර් අසාම් (27) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සොහේල් සමත් විය. ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක සධීර සමරවික්‍රම අතට උඩ පන්දුවක් දෙමින් අසාම් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය.

පාකිස්තාන ඉනිමේ පළමු පන්දුවේදීම ආරම්භක පිතිකරු ෆකාර් සමාන්ගේ (0) කඩුල්ල බිඳ දැමීමට කසුන් රාජිත සමත් වූ අතර ඉමාඞ් වසීම් ලකුණු 3 කට දැවී ගියේ ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ එල්ල කළ පහරකින් ඇදී ගිය පන්දුව හතරේ සීමාව අසලදී උඩ පන්දුවක් බවට පරිවර්ථනය කරගැනීමට වනිඳු හසරංග සමත් වීම හේතුවෙනි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 147 ක් ලබා ගත්තේය. සිය මංගල විස්සයි20 ජාත්‍යන්තර තරගයට සහභාගි වූ ඕෂධ ප්‍රනාන්දු, වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 46 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 78 ක් රැස්කළේය.

ලකුණු 58 කට කඩුලු 4 ක් බිඳ වැටී තිබූ අවස්ථාවේදී නායක දසුන් ශානක (12) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඕෂධ සමත් විය. වහබ් රියාස්ගේ පන්දුවක් හමුවේ ෆකාර් සමාන් අතට උඩ පන්දුවක් දෙමින් දසුන් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය.

පළමු ඕවර 2 තුළදී කඩුල්ලක් ලබා නොදී ලකුණු 19 ක් රැස්කිරීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෝ සමත් වූ නමුත් තෙවැනි ඕවරයේ අවසන් පන්දුවේදී ලකුණු 8 ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලකගේ කඩුල්ල බිඳ දැමීමට මොහොමඞ් අමීර් සමත් විය.

සිවුවැනි ඕවරයේ අවසන් පන්දුවේදී සධීර සමරවික්‍රම ලකුණු 12 කට දැවී ගියේ ඉමාඞ් වසීම්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි. අමීර්ගේ පන්දුවක් හමුවේ හතරේ සීමාව අසලදී අසීෆ් අලී රැකගත් අගනා උඩ පන්දුවක් හේතුවෙන් භානුක රාජපක්ෂගේ ඉනිමද ලකුණු 3 කට සීමා විය.

අටවැනි ඕවරයේ අවසන් පන්දුවේදී ලකුණු 11 ක් ලබා සිටි ඇන්ජලෝ පෙරේරා දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ඉෆ්තිකාර් අහමඞ් සහ සර්ෆරාස් අහමඞ් සමත් වීමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ සිවුවැනි කඩුල්ලත් බිඳවැටිණ.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවේදී වනිඳු හසරංග (6) දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට උස්මාන් ෂින්වරි සමත් වූ අතර ළහිරු මධුෂංක එක් ලකුණකට දැවී ගියේ මොහොමඞ් අමීර්ගේ පන්දුවක් හමුවේ ඉෆ්තිකාර් අහමඞ් අතට උඩ පන්දුවක් දෙමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 5 ක් සමගින් මෙම තරගයට සහභාගි විය. මුල් තරග දෙකට ක්‍රීඩා කළ අවිෂ්ක ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, මිනෝද් භානුක, ඉසුරු උදාන සහ නුවන් ප්‍රදීප් වෙනුවට සධීර සමරවික්‍රම, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, ළහිරු මධුෂංක සහ ළහිරු කුමාර මෙම තරගයේදී කණ්ඩායමට ඇතුළත්ව සිටියහ.

 


-036

 


අදහස් (0)

ඕෂධ - වනිඳු ශ්‍රී ලංකාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.