Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕෂධගේ දකුණු අප්‍රිකානු සංචාරය වැටඋඩ

ඕෂධගේ දකුණු අප්‍රිකානු සංචාරය වැටඋඩ

රොෂාන් ගුණරත්න - 2020 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරගයකදී වළලුකර ඇඹරීමෙන් ඇතිවූ ආබාධයක් හේතුවෙන් දකුණත් ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දුගේ දකුණු අප්‍රිකානු සංචාරයද අවිනිශ්චිත තත්වයක පවතින බවට ආරංචි මාර්ග පවසයි. මහනුවර ටස්කර්ස් පිලට එරෙහිව සෙනසුරාදා පැවැති තරගයේදී දඹුල්ල වයිකිංග් පිලේ ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඕෂධ ප්‍රනාන්දු වළලුකර ඇඹරීමෙන් පසුව වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව පිටියෙන් ඉවත් විය. ඒ අනුව ඔහුට එල්.පී,එල්. තරගාවලියේ ඉදිරි තරග අහිමි වන තත්ත්වයක්ද ඇතිවී තිබේ.

දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ දෙසැම්බර් 26 වනදා ඇරඹෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා දකුණු අප්‍රිකාව බලා පිටත්වන සංචිතයට ඕෂධ ප්‍රනාන්දු ඇතුළත්ව තිබිණි.

“මම හිතන්නේ නැහැ ඔහු ඉක්මනින් සුවය ලබයි කියලා. නමුත් දකුණු අප්‍රිකානු සංචාරය වෙනකොට ඔහු හොඳ ශරීර යෝග්‍යතාවයෙන් පසුවෙයි කියලා බලාපොරොත්තු වෙනවා” යැයි දඹුල්ල වයිකිංග් පිලේ නායක දසුන් ශානක තරගය අවසන් වීමෙන් පසුව පැවසීය.

කෙසේ වෙතත්, ඔහුගේ ආබාධය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වෛද්‍ය පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තුරු ප්‍රකාශ කළ නොහැකි බවත් ඉදිරි සති 2-3 ක කාලයක් විවේකයෙන් ගත කිරීමට සිදුවනු ඇති බවත් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සදහන් කළේය.

දකුණු අප්‍රිකානු සංචාරයේදී නායක දිමුත් කරුණාරත්න සමගින් ඉනිම ආරම්භ කිරීමට ඕෂධ ප්‍රනාන්දු සූදානමින් සිටියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව තේරීම් කමිටුව ප්‍රකාශයට පත්කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා විසින් දකුණු අප්‍රිකාව බලා යෑමට නියමිත සංචිතය තෝරා ගන්නා ලදී.

පසුගිය වසරේ පැවැති දකුණු අප්‍රිකානු සංචාරයේදී ඉනිම 4 කදී ඕෂධ ප්‍රනාන්දුගේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ නොදැවී 75, 37, 19, 0 වශයෙනි.

ඕෂධ ප්‍රනාන්දු එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා එක් නොවන්නේ නම් ඔහු වෙනුවට මුල් පෙළ පිතිකරුවකු වන මිනෝද් භානුක ආදේශ කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කෙරෙමින් පවතී. සී.සී.සී පිලේ පිතිකරුවකු මෙන්ම කඩුලු රකින්නෙකුද වන මිනෝද් භානුක, පසුගිය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ආරම්භක සහ අංක 3 පිතිකරුවකු ලෙස ක්‍රීඩා කරමින් ශතක දෙකක් සහ අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 676 ක් රැස්කිරීමට සමත්විය.


අදහස් (0)

ඕෂධගේ දකුණු අප්‍රිකානු සංචාරය වැටඋඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.