Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්ත තරගයට පෙර සිතන්නට යමක්

එංගලන්ත තරගයට පෙර සිතන්නට යමක්

editorial - 2019 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ගෙවී ගිය සතිය තුළ ආධිපත්‍ය පතුරුවා ගැනීමට සමත්ව සිටියේ වෙන කිසිවකුත් නොව කවුරුත් හොඳින් දන්නා, කිසිම ස්ථාවරත්වයක් නැති, එංගලන්ත දේශගුණයයි. මේ දිනවල එංගලන්තයේ ගෙවී යන්නේ ගිම්හාන කාලය වුවද ඇද හැළුණු වර්ෂාව හා සීතල සුළං තත්ත්වය, එම ගිම්හාන සෘතුවට බාධා පමුණුවමින් තරග කිහිපයක්ම පැවැත්වීමට බාධා කළේය. ඉතාමත් ධනාත්මකව ආරම්භ වූ තරගාවලියේ රිද්මයට කිසියම් බලපෑමක් කළ සිදුවීමක් බවට කාලගුණය පත්ව තිබේ.

මේ සති අන්තයේ සිට ඉර අව්ව නැවතත් පතිත වනු ඇති බවට සියලු දෙනාම බලාපොරොත්තු තබා තිබුණද, ගිම්හාන කාලය සම්පූර්ණයෙන්ම තෙතමනයෙන් වෙළා ගෙන තිබීම, තරග පැවැත්වීම සඳහා  පැහැදිළිවම බලපෑමක් කර තිබේ. මෙම තත්ත්වය මත ඇතැම් කණ්ඩායම් වලට මුහුණ දීමට තිබූ අභියෝගවලට වඩා වැඩි අභියෝගයකට මුහුණ දීමට මේ වන විට සිදුවී තිබේ.

තරග පැවැත්වීම සඳහා යොදා ගන්නා ප්‍රදේශ කේන්ද්‍රකරගනිමින් පිහිටුවා ඇති ක්‍රීඩාංගණ ගෙන බැලීමේදී එහි ජලපවාහන පද්ධතියේ කාර්යක්ෂමතාවය විශාල වශයෙන් එකිනෙකට වෙනස් බව කොයි කවුරුත් දන්නා දෙයකි. බි්‍රස්ටල්හි පැවැති ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයත්, සදම්ප්ටන්හි පැවැති එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගයත් දෙස අවධානය යොමු කිරීමේදී එය ඉතා පැහැදිළිව පෙනෙන්නකි. 

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරගයේදී ක්‍රීඩාංගණය තුළට හිරු එළිය පතිත වුණද තරගය පැවැත්වීමට නොහැකි වූයේ තණතීරුවෙන් පිටත ප්‍රදේශයේ ස්ථාන කීපයක් තෙත් ගතියෙන් යුක්ත වූ නිසාය. එසේ වුවත්, සතියක් පුරා අධික වර්ෂාවක් පතිත වී තිබියදී වුවද, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරගය පැවැත්වූ අයුරු දුටු විට ඒ පිළිබඳ වෙනස පැහැදිළිවම පෙනී යනු ඇත.

වර්ෂාවෙන් පසුව තරගයක් පැවැත්වීම ඇතැම් විට කාසියේ වාසිය දිනා ගන්නවා වැනි වාසනාවක් ගෙන දෙන්නකි. 
එහෙත් එය නිසි ලෙස භාර ගැනීමට ඇතැම් කණ්ඩායම් අසමත් වන්නේ විශේෂයෙන්ම තණතීරුවල ස්වභාවයේ විවිධත්වයක් දැක ගැනීමට ලැබෙන බැවිනි. ක්‍රීඩාංගණයක කොළ පැහැයෙන් යුත් තණතීරු කීපයක් දැක ගැනීමට හැකි වුණත්, දුඹුරු පැහැති තණතීරුද දැක ගැනීමේ අවස්ථාව අපට තිබේ. 

සැබැවින්ම මෙවැනි ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වෙන විට ප්‍රධානතම අවශ්‍යතාව බවට පත් වන්නේ එවැනි කිසිවකුටත් විශේෂ වාසි ලබා නොදෙන ආකාරයේ තණතීරු සැකසීමයි. නමුත් අවාසනාවකට මෙන් එය සෑම අවස්ථාවේදීම සිදු නොවෙන්නක් බවට පත්ව තිබේ. මෙම තත්ත්වය මත ඒ ඒ තත්ත්වයන්ට අනුගතවීමට කණ්ඩායම් වලට සිදු වුණත් ඒ සම්බන්ධව ඇතැම් කණ්ඩායම්වලින් නැගෙන මැසිවිලි ද වටහාගත හැකිවේ.

ශ්‍රී ලංකාවේ තරග පැවැත්වෙන විට ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම වැසි ආවරණවලින් වසා දැමේ. එහෙත් එංගලන්තයේදී එය ප්‍රායෝගිකව කිරීමට නොහැකි වීම සැබැවින්ම ලැජ්ජාවට කරුණකි. මේ කටයුත්ත සඳහා විශාල මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වන නමුත් අපිට නම් එය තවත් එක් කලාවක් බවට පත්ව තිබේ. ඒ වගේම අපට ගනුදෙනු කිරීමට සිදුවන මෝසම් වැසිවලින් ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීමටත් එය උපකාරී වේ. 

ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් බලන විට, ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ ඉදිරියට යෑමේ උපාය මාර්ගය ඉතාමත් සරල දෙයකි.  හොඳින් පිතිහරඹයේ යෙදෙමින් පන්දු යවන්නන්ට ආරක්ෂා කළ හැකි විශාල ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීම හෝ එසේ නොමැතිනම් තමන්ට ලැබෙන ඉලක්කය හඹා යා හැක්කේ කෙසේද යන්න කල්පනා කිරීමය. දීර්ඝ සබඳතා ගොඩ නැගීම පිණිස ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික සිද්ධාන්තවලට ආපසු යෑමේ අවශ්‍යතාවක් මේ වන විට කණ්ඩායම තුළ පැන නැගී තිබේ.

මැද පෙළ පිතිකරු ස්ථානය සාර්ථකව පවත්වාගෙන යෑමේ වගකීම ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් විසින් සිදු කළ යුතුව තිබේ. කණ්ඩායමේ ඉදිරියට රැගෙන යෑම වෙනුවෙන් මොවුන් දෙපළම මීට වඩා ඵලදායී ලෙසින් ලකුණු රැස් කරමින් ඔවුන්ගේ පිතිහරඹය මීට වඩා ශක්තිමත් බව පෙන්විය යුතු වේ. ඔවුන්ගේ හැසිරීමෙන් පෙන්නුම් කරන්නේ පරාජිතයකුගේ කතාන්දරයක් වුවත්, එය ප්‍රබෝධමත් කර ගැනීමේ කටයුත්ත ලසිත් මාලිංග වැනි පළපුරුදු ක්‍රීඩකයකුගේ උදව්වද සහිතව ක්‍රීඩාගාරය තුළදී ඔවුන් විසින්ම වැඩි දියුණු කරගත යුතුව තිබේ.

ඔවුන් සියලුදෙනාම තරගයක පතුළටම ගෙන ගොස් තමන්ටම අභියෝගයක් කර ගනිමින් එම අසීරු අවස්ථාවන් යට පත් කරගෙන යළි නැගී සිටිය යුතුය. ඒ සඳහා වන හැකියාව ඔවුන් සතුව තිබෙන අතර ඒ පිළිබඳ විශ්වාසයද ඔවුන්ට තිබෙන බව හදවතින්ම මට දැනේ. 

ඕස්ටේ්‍රලියාවට එරෙහිව පසුගිය සති අන්තයේදී පැවැති තරගයේදී පන්දුවට පහර දීමේදී ඉදිරි පෙළින් ශක්තිමත් වේදිකාවක් ගොඩ නගා ගැනීමට අපිට හැකි වුණා. මම හිතනවා පන්දු රැකීමෙනුත් අපිට ඕස්ටේ්‍රලියානුවන්ව යම් පීඩනයකට යටත් කිරීමට හැකි වුණා කියලා. 

කොහොම වුණත් මැද පෙළ යළිත් වතාවක් කඩා වැටීම නිසා අපිට ඒ අවස්ථාවෙන් හොඳින් ප්‍රයෝජන ගන්න බැරි වුණා. එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත ඊළඟ තරගයට කළින් අපේ මුළු පිතිහරඹ ඒකකයම එකට දක්ෂතා අතරට පැමිණිය යුතු වේ.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව විමසා බැලීමේදී ශිකර් ධවාන් ආබාධයකට ලක්වීම ඔවුනට වැදුණු මරු පහරකි. මෙවැනි දැවැන්ත තරගාවලියකට ඔහු දක්වා තිබෙන දක්ෂතා සැබැවින්ම අති විශිෂ්ඨය. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඔහුගේ හවුල්කාරයා වන අනෙක් ආරම්භක පිතිකරුවා වන රෝහිත් ෂර්මා සමඟ ඉන්දියාවේ අවශ්‍යතාව ඉටු වන අයුරින් කටයුතු තිබෙන අතර එය අනෙක් පිතිකරුවන්ටද පීඩනයෙන් තොරව පන්දුවට පහර දීමට අවස්ථාව සලසා දීමකි.

ධවාන්ගේ ආදේශකයා ලෙසින් විශිෂ්ට ක්‍රීඩකයකු වන රිෂාබ් පාන්ට් සිටියද ඔහුගේ සේවය ලබා ගැනීම කල් දමමින් ධවාන් යළිත් පෙර කී තත්ත්වයට පිවිසීම වෙනුවෙන් වන සෑම අවස්ථාවක්ම ලබා දීමට ඉන්දියාව ඉඩ සලස්වා ඇත්තේ එබැවිනි. 

රවින්ද්‍ර  ජදේජා හෝ විජේ ශන්කර් තෝරා ගනිමින් ඔවුන්ගේ තුන් ඉරියව් හැකියාවන් ශක්තිමත් කිරීමට හෝ එසේත් නැත්නම් පළපුරුද්ද මත දිනේෂ් කර්තික් තෝරා ගනිමින් පූර්ණ පිතිකරුවෙකු කරා යාමට මෙමගින් ඔවුන්ට අවස්ථාව උදා වෙයි. ඔවුන් කුමන මාර්ගයක් තෝරා ගත්තද, එය හොඳ අවස්ථාවක් බවට පත්කර ගැනීමට ඔවුන්ගේ අරුම පුදුම දස්කම් ඇති නායක විරාට් කෝලි  වගා බලා ගනු ඇත. 

මේ අතර, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඒ. බී, ඩිවිලියර්ස් නම් නොකිරීම සම්බන්ධව පැන නැගී ඇති ගැටළුවෙන් බේරීමට දකුණු අප්‍රිකාව අරගලයක නිරත වෙමින් සිටියි. මීට පෙර ඩිවිලියර්ස් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සිටියද අවසන් මිනිත්තුවේදී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට කැමැත්ත පළ කළ බවට වූ ප්‍රවෘත්තියක් පලවීමෙන් පසුව ඒ පිළිබඳව මහත් ආන්දෝලනයක් ඇතිවීම එම තත්ත්වයට හේතු වී තිබේ.

මෙහිදී මාගේ ආකල්පය වන්නේ පෞද්ගලික මට්ටමේ වාසිවන තරගාවලියට සහභාගිවීමේදී මෙන්ම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේදී කළ යුතු කැප කිරීම සඳහා අවශ්‍යවන සමබරතාව රැක ගැනීමට ඩිවිලියර්ස් අපොහොසත් වුණු බවත් එම නිසා ඔහු දකුණු අප්‍රිකානු කණ්ඩායමට ක්‍රීඩා කරනවාද නැද්ද යන්න අවිනිශ්චිතතාවයෙන් පීඩා විඳි බවයි.

මේ සඳහා වන හේතු කාරණා සංකීර්ණ වන අතර සමහර විට එය ඔහුගේ කැමැත්තට අනුව සිදු නොවනවා විය හැකිය. එහෙත් ජාත්‍යන්තර ක්‍රීඩාවට පිවිසීමට අවශ්‍යතාවක් ඩිවිලියර්ස්ට තිබුණේ නම්, දකුණු අප්‍රිකානු කණ්ඩායමට පූර්ණ වශයෙන් ඇතුළත් වීමට හා ඒ වෙනුවෙන් සූදානම් වීමට ඔහු කල් තියා කැප කිරීමක් සිදු කළ යුතුව තිබිණි. 

ලෝක කුසලාන තරගාවලිය සඳහා ඔහුගේ ආගමනය ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය අපහසු එකක් වන්නට පුළුවන. විශේෂයෙන්, ඔහු විසින් කණ්ඩායමට ගෙන එනු ලබන විශිෂ්ඨ දක්ෂතා හා තරගයක් ජයග්‍රහණය කරා රැගෙන යා හැකි ඔහු තුළ වූ  පැහැදිළි හැකියාවන් නිසාවෙනි. කෙසේ වෙතත් ඔහු මේ තීරණය ගෙන ඇත්තේ දීර්ඝ ලෙසින් කල්පනා කිරීමෙන් පසුව බව පෙනී යනු ඇත. 

කෙසේ වෙතත් මේ කරුණු හෙළිදරව් වීම දකුණු අප්‍රිකාව තරග කිහිපයක් පරාජය වීමට පසුව සිදුවූවාට වඩා තරගාවලිය ආරම්භ වීමට පෙර සිද්ධ වූයේ නම් වඩා සුභදායී වනු ඇත.

 


අදහස් (0)

එංගලන්ත තරගයට පෙර සිතන්නට යමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.