Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය 3-0 කින් දකුණු අප්‍රිකාව පරදවයි

එංගලන්තය 3-0 කින් දකුණු අප්‍රිකාව පරදවයි

editorial - 2020 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කේප් ටවුන්හිදී පැවති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් ලැබූ සංචාරක එංගලන්ත කණ්ඩායම, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමටද සමත් විය.

තෙවැනි තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 192 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත පිතිකරුවෝ එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. ආරම්භ පිතිකරු ජොස් බට්ලර් (නොදැවි 67) සහ ඩේවිඩ් මැලන් (නොදැවී 99) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 84 කදී ලකුණු 167 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ මැලන් පන්දු 47 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 11 ක් සමග ලකුණු 99 ක් රැස්කළ අතර පන්දු 46 කදී වාර්ත‍ා වූ බට්ලර්ගේ අර්ධ ශතකයට හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය. එංගලන්ත ඉනිමේ බිඳවැටුණ එකම කඩුල්ල බවට පත්වූ ජේසන් රෝයි ලකුණු 16 ක් ලබා සිටියදී දැවී ගියේ ඇන්රික් නොයේගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි.

එහිදී විස්සයි20 ජාත්‍යන්තර තරගයක දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බිඳ දැමීමටද බට්ලර් සහ මැලන් සමත් වූහ. කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන මින් ‍පෙර එම වාර්තාවට හිමිකම් කියූ අතර ඔවුන් 2010 වසරේදී බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 166 ක සබඳතාවක් ගොඩනගමින් එම වාර්තාව පිහිටුවා තිබිණ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩයම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 191 ක් රැස්කළේය. එහිදී ෆ‍‍ෆ් ඩුප්ලෙසී (නොදැවි 52) සහ වැන්ඩර් ඩසන් (නොදැවී 74) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 127 ක සම්බන්ධතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

පන්දු 32 කට මුහුණදුන් ඩසන් ‍හයේ පහර 5 කින් සහ හතරේ පහර 5 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 37 කදී වාර්තා වූ ඩුප්ලෙසීගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. නායක ක්වින්ටින් ඩි’කොක් ලකුණු 17  ක් ලබා සිටියදී ක්‍රිස් ජෝර්ඩ්න්ගේ පන්දුවක් හමුවේ ටොම් කරන් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. ටෙම්බා බවුමා (32) සහ රීසා හෙන්ඩ්‍රික්ස් (13) පිටියෙන් ඉවත් කිරීමට බෙන් ස්ටෝක්ස් සමත් විය.

 

දකුණු අප්‍රිකාව - ඕවර 20 කදී කඩුලු 3 කට 191
(ක්වින්ටින් ඩි’කොක් 17, ටෙම්බා බවුමා 32, රීසා හෙන්ඩ්‍රික්ස් 13, ෆෆ් ඩුප්ලෙසි නොදැවි 52, වැන්ඩර් ඩුසන් නොදැවි 74, බෙන් ස්ටෝක්ස් 26/2)

එංගලන්තය - ඕවර  17.4 කදී කඩුල්ලක් දැවී 192
(ජේසන් රෝයි 16, ජොස් බට්ලර් නොදැවි 67, ඩේවිඩ් මැලන් නොදැවී 99)

-036

 


අදහස් (0)

එංගලන්තය 3-0 කින් දකුණු අප්‍රිකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.