Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය ලකුණු 269 කින් කොදෙව් පිල පරදවයි

එංගලන්තය ලකුණු 269 කින් කොදෙව් පිල පරදවයි

editorial - 2020 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 269 ක ජයක් ලැබූ එංගලන්ත කණ්ඩායම, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 399 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායමට ක්‍රිස් වෝක්ස්ගේ සහ ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 129 ක් පමණි. දිවා ආහාරයට පෙර වරින් වර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නමුත් දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ලකුණු 84 කට කඩුලු 5 ක් දවාගනිමින් කොදෙව් කණ්ඩායම අසරණ කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.

අද දිනයේ (28 වැනිදා) පළමු කඩුල්ල මෙන්ම ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ 500 වැනි ටෙස්ට් කඩුල්ල බවටද පත්වෙමින් ආරම්භක පිතිකරු ක්‍රේග් බ්‍රැත්වේට් ලකුණු 19 කට දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ක්‍රිස් වෝක්ස්, දිවා ආහාරයට පෙර තවත් කඩුලු 2 ක් බිඳහෙළමින් කොදෙව් කණ්ඩායම අසීරු තත්වයකට ඇද දැමුවේය.

එහිදී හතරේ පහර 6 ක් සමග ලකුණු 31 ක් ලබා සිටි ශායි හෝප්, මිඞ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ස්ටුවර්ට් බ්‍රෝඞ් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගිය අතර කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට ශාමර් බෘක්ස් හතරේ පහර 3 ක් සමග ලබා සිටියේ ලකුණු 22 ක් පමණි. හෝප්ගේ දැවී යාමෙන් සිදුවූයේ වරෙක කඩුලු 3 කට ලකුණු 71 ක් ලබා සිටි කොදෙව් පිලට පන්දු 15 කදී තවත් කඩුල්ලක් අහිමි වීමත්, ලකුණු 8 ක් තුළදී පිතිකරුවන් දෙදෙනකු දැවී යාමත් හේතුවෙන් පීඩනයට පත්වීමයි.

දිවා ආහාරයෙන් පසුව කොදෙව් ලකුණු පුවරුවට තවත් ලකුණු 3 ක් එක්වන විට රොස්ටන් චේස් (7) දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ඩොමිනික් බේස් සමත් විය. ඉන් අනතුරුව යළිත් ක්‍රියාත්මක වූ ක්‍රිස් වෝස්ක් කොදෙව් කණ්ඩායමේ පසු පෙළ පිතිකරුවන් තිදෙනෙක්ම කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගනිමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.

පළමු ඉනිමේදී ලකුණු 31 කට කඩුලු 6 ක් දවාගෙන සිටි ස්ටුවර්ට් බ්‍රෝඞ්, දෙවැනි ඉනිමේදී ලකුණු 36 කට කඩුලු 4 ක් දවාගනිමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය තහවරු කළේය. මෙම තරගයේදී බ්‍රෝඞ්ගේ 10 වැනි කඩුල්ල මෙන්ම කොදෙව් ඉනිමේ අවසන් කඩුල්ලද බවට පත්වෙමින් ජර්මේන් බ්ලැක්වුඞ් ලකුණු 23 කට දැවී ගියේ ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් දෙමිනි.

එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 369

කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 197

එංගලන්ත දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 226

කොදෙව් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 129
(ක්‍රේග් බ්‍රැත්වේට් 19, ශායි හෝප් 31, ශාමර් බෘක්ස් 22, ජර්මේන් බ්ලැක්වුඩ් 23, ක්‍රිස් වෝක්ස් 50/5, ස්ටුවර්ට් බ්‍රෝඩ් 36/4)

-036


අදහස් (0)

එංගලන්තය ලකුණු 269 කින් කොදෙව් පිල පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.