Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය අලි අමාරුවක වැටෙයි

එංගලන්තය අලි අමාරුවක වැටෙයි

editorial - 2020 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අනපේක්‍ෂිත මොහොතක තරගයට කඩාවැදුණු පාකිස්තානු වේග පන්දු යවන්නන් දෙදෙනා වූ මොහොමඞ් අබ්බාස් සහ ශහීන් ෂා අෆ්රීඩි දෙදෙනාගේ පන්දු යැවීම හේතුවෙන් මැන්චෙස්ටර් නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සත්කාරක එංගලන්ත කණ්ඩායම අලි අමාරුක වැටුණේය. තරගයේ දෙවැනි දිනය වූ අද (6 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ලකුණු 92 කට කඩුලු 4 ක් අහිමි කරගෙන සිටි එංගලන්ත පිල පාකිස්තානයට වඩා ලකුණු 234 ක් පසුපසින් සිටියේය.

ශාන් මසූඞ්ගේ අගනා පිතිහරඹය නිසා ඊයේ තේ පානයෙන් මඳ වේලාවකට පසුව පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 326 ක් ලබාගත්තේය. ඊට පිළිතුරු සෙවීම සඳහා පිති අතට ගත් එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු රෝරි බර්න්ස් පළමු ඕවරයේදීම දවාගැනීමට ශහීන් ෂා අෆ්රීඩි සමත් වූයේය.

අනතුරුව පිට පිට ඕවර දෙකකදී ඩොමිනික් සිබ්ලි සහ බෙන් ස්ටෝක්ස දවාගත් මොහොමඞ් අබ්බාස් මුලු ලකුණු සංඛ්‍යාව 12 ක් වෙද්දී තුන්වැනි කඩුල්ලත් බිම දැම්මේය.
එංගලන්ත නායක ජෝ රූට් දැවී යන විට ලකුණු පුවරුවේ සටහන් වූයේ 62 ක් පමණි.

එහෙත් ඔලී පෝප් සහ ජොස් බට්ලර් එක්ව දිනය අවසන් වන විට මුලු ලකුණු සංඛ්‍යාව 92 දක්වා ඉහළ දැමූහ.

පාකිස්තාන ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ ආරම්භක පිතිකරු ශාන් මසූඞ් හයේ පහර 2 ක් සහ හතරේ පහර 18 ක් සමග ලකුණු 156 ක් රැස්කළේය. මේ දක්වා ටෙස්ට් තරග 21 කට ක්‍රීඩා කර ඇති මසුඞ්, ඉනිමකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙන්ම ඔහුගේ සිවුවැනි ටෙස්ට් ශතකය ලෙසද මෙය වාර්තා අතරට එක් විය.

තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 312 ක් ලබා සිටි පාකිස්තාන කණ්ඩායමට තේ පානයෙන් අනතුරුව සිය පළමු ඉනිමට එකතු කරගත හැකි වූයේ තවත් ලකුණු 14 ක් පමණි. තේ පානයෙන් අනතුරුව ක්‍රියාත්මක කෙරුණ දෙවැනි ඕවරයේදී ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් මසූඞ් නමවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

දැවී යෑමට පෙර මසූඞ් පන්දු 319 කට මුහුණදී සිටි අතර 1996 වසරෙන් පසුව පාකිස්තාන ආරම්භක පිතිකරුවකු එංගලන්තයේදී පන්දු 200 කට වැඩි සංඛ්‍යාවකට මුහුණදුන් පළමු අවස්ථාව ලෙස එය වාර්තා අතරට එක්විය. මෙම ශතකයත් සමග 2010 වසරෙන් පසුව එංගලන්තයේදී ටෙස්ට් ශතකයක් ලබාගත් පළමු පාකිස්තානු පිතිකරුවා බවටද මසූඞ් පත්විය.

ලකුණු 176 කට කඩුලු 5 ක් බිඳ වැටී තිබියදී ශදාබ් ඛාන් සමග එක්වූ මසූඞ්, හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 105 සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාව ආසන්නයටම රැගෙන ආවේය. කෙසේ වුවත් පිට පිට යවන ලද පන්දු 2 කදී යසීර් ෂා සහ මොහොමඞ් අබ්බාස් දවාගත් ජොෆ්රා ආචර් පාකිස්තාන කණ්ඩායමේ ගමන්මග තරමක් අවහිර කළේය.

වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගයේ පළමු දිනය (5 වැනිදා) ඕවර 49 කට සීමා වූ අතර දිනය නිමාවන විට පාකිස්තාන කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 139 ක් ලබා සිටියේය. පාකිස්තාන කණ්ඩායමට ඊයේ දිනයේ දිවා ආහාරය දක්වා කාලය තුළ සිය පළමු ඉනිමට අලුතින් එක්කර ගැනීමට හැකි වූයේ ලකුණු 48 ක් පමණි. එහිදී ඔවුන්ට කඩුලු 3 ක් අහිමි විය.

ශාන් මසූඞ් (නොදැවී 77) සහ බාබර් අසාම් (69) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සාර්ථක සම්බන්ධතාව ලකුණු 96 කට සීමා කිරීමට ජේම්ස් ඇන්ඩසන් සමත් විය. ඊයේ දිනයේදී එංගලන්ත ලකුණු පුවරුවට එක් ලකුණක් හෝ එකතුවීමට පෙර ඇන්ඩසන්ගේ පන්දුවක් හමුවේ ජෝ රූට් අතට උඩ පන්දුවක් දෙමින් බාබර් අසාම් පිටියෙන් ඉවත්ව ගියේය. අසාම්ගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි අසාද් ශෆීක්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට නොහැකි වූ අතර ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් දැවීයන විට ඔහු ලබා සිටියේ ලකුණු 7 ක් පමණි. බ්‍රෝඞ් එම කඩුල්ල දවාගැනීමත් සමග ඔහු සහ ඇන්ඩසන් එක්ව දවාගත් ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 897 ක් දක්වා ඉහළ ගියේය.

ඒ අනුව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයන් දෙදෙනකු එක්ව දවාගත් දෙවැනි වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාව බිඳ දැමීමටද බ්‍රෝඞ් සහ ඇන්ඩසන් සමත් වූහ. මින් පෙර දෙවැනි ස්ථානය ලබා සිටියේ කඩුලු 895 ක් බෙදාහදාගත් සිටි මුත්තයියා මුරලිදරන් සහ චමින්ද වාස් දෙදෙනාය. ෂේන් වෝන් සහ ග්ලේන් මැග්‍රාත් එක්ව කඩුලු 1001 ක් දවාගනිමින් එම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටිති.
 
පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 326
(ශාන් මසූඞ් 156, අබීඞ් අලී 16, බාබර් අසාම් 69, ශදාබ් ඛාන් 45, ස්ටුවර්ට් බ්‍රෝඞ් 54/3, ජොෆ්රා ආචර් 59/3, ක්‍රිස් වෝක්ස් 43/2)

එංගලන්තය පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 92
(ජෝ රූට් 14, ඔලී පෝප් නොදැවී 46, ජොස් බට්ලර් නොදැවී 15, මොහොමඞ් අබ්බාස් 24/2, ශහීන් ෂා අෆ්රීඩි 12/1, යසීර් ෂා 36/1)

 

-036


අදහස් (0)

එංගලන්තය අලි අමාරුවක වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.