Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තයේ සංචාරයට කොදෙව් පිලට අනුමැතිය

එංගලන්තයේ සංචාරයට කොදෙව් පිලට අනුමැතිය

editorial - 2020 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙස්ට් තරගාවලියක් සඳහා එංගලන්තයේ සංචාරය කිරීමට සූදානම් වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරට ක්‍රිකට් ආයතන ප්‍රධානීන් අනුමැතිය ලබා දී තිබේ. එහෙත් කොදෙව් කණ්ඩායම “විෂබීජානුහරණය කළ පරිසරයක” රැඳී සිටිය යුතුය.

කොදෙව් කණ්ඩායම ජුනි මාසයේදී එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග 3 කට ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වයිරසයේ තර්ජනය හේතුවෙන් මෙම සංචාරය ජූලි මාසය දක්වා පසුපසට තල්ලු කර කිරීමට ඔවුන් කලින්ම තීරණය කළහ.

“බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එංගලන්ත ටෙස්ට් සංචාරය සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දී තිබේ” යැයි කොදෙව් ක්‍රිකට් ආයතනය පසුගියදා ප්‍රකාශ කළේය.

”මෙම තීරණය ගනු ලබන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය හා ක්‍රිකට් සම්බන්ධ නියෝජිතයින් මෙන්ම එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය සහ ඔවුන්ගේම වෛද්‍ය හා මහජන සෞඛ්‍ය උපදේශකයින් සමඟ සවිස්තරාත්මක සාකච්ඡාවලට සහභාගී වීමෙන් පසුවයි” යයි කොදෙව් ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද නිවේදනයකින් කියැවිණ.

සංචාරයේ සම්පූර්ණ කාලසීමාව තුළදීම ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලය “විෂබීජානුහරණය කළ පරිසරයක” තබා ගැනීම සඳහා සවිස්තරාත්මක සැලසුම් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය වෙත ලැබී ඇති අතර එම වාර්තාව සමාලෝචනය කර ඇත. ක්‍රීඩාංගණයන්හි සියළු දොරටු වසා ප්‍රේක්‍ෂකයින් නොමැතිව සියලුම තරග පැවැත්වීමට නියමිතය.

ටෙස්ට් තරග තුන ජූලි 8, ජූලි 16 සහ ජූලි 24 යන දිනයන්හිදී ආරම්භ වේ. පළමු ටෙස්ට් තරගය සදම්ටන්හි ඒජ්ස් බෝල් ක්‍රීඩාංගණයේදීද, දෙවැනි තරගය මැන්චෙස්ටර්හි ඕල්ඞ්ට්‍රැෆර්ඞ් ක්‍රීඩාංගණයේදීද පැවැත්වේ. මෙම ක්‍රීඩාංගණ දෙකම ආශ්‍රිතව නවාතැන් ගැනීම සඳහා තරු පන්තියේ හෝටල තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් ගණනාවක් මේ වන විටත් පුහුණුවීම්වල යෙදී සිටින අතර තමා සංචාරය සඳහා බලාපොරොත්තුවෙන් සිටින බව වේග පන්දු යවන ක්‍රීඩක කෙමාර් රෝච් කියා සිටියේය.

ඇතැම් ක්‍රීඩකයින් මෙම සංචාරය සඳහා වඩාත් අකමැති විය හැකි බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයෙහි ප්‍රධාන විධායක ජොනී ග්‍රේව් මහතා පිළිගත්තේය. විශේෂයෙන් ඇන්ටිගුවා සහ බාර්බුඩා වැනි දූපත්වලින්, අප්‍රේල් මාසයේ සිට කොරෝනා වයිරසය ආසාදනය වූවන් වාර්තා නොවීම ඊට හේතුවයි.

“නිසැකවම ඇන්ටිගුවාහි ක්‍රීඩකයන් අතර යම්කිසි නොසන්සුන්තාවයක් ඇති වී තියෙනවා” යැයි ඔහු බී.බී.සී ගුවන් විදුලි සේවයට පැවසීය.
“අපි ඔවුන් සමඟ ඉතා විවෘතව හා අවංකව කටයුතු කර ඇති අතර එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයෙන් තරග සැලැස්ම ලබාගත් දින සිටම අපි ඔවුන්ව දැනුවත් කර තිබෙනවා.”

“මෙම සංචාරය කෙබඳු විය හැකිදැයි වටහා ගැනීමට ක්‍රීඩකයන්ට එය ඉවහල් වූ බව මම සිතනවා. මා කතා කළ සියලුම ක්‍රීඩකයින්ට එංගලන්තයට ගොස් නැවත සජීවී ක්‍රිකට් ක්‍රීඩාවක නිරත වීමට උනන්දුවක් තිබෙනවා.”

”නිසැකවම අපි කාටවත් එහි ගොස් සෙල්ලම් කිරීමට බල කරන්නේ නෑ. ආරක්ෂාව අපට අංක එකේ ප්‍රමුඛතාවය වන අතර සංචාරය කිරීමට එකඟ නොවන ඕනෑම ක්‍රීඩකයෙකුට අපි සම්පුර්ණයෙන්ම ගරු කරනවා.” යයිද ජොනී ග්‍රේව් මහතා පැවසීය.

සංචාරක කණ්ඩායම සඳහා පුද්ගලික ගුවන් යානා භාවිතා කරන අතර සියලුම ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලය සඳහා වෛද්‍ය පරීක්ෂණ සහ කොවිඞ් - 19 පරීක්ෂණ කරන බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය පවසා ඇත.

එංගලන්තය මේ වසරේදී පාකිස්තානය, අයර්ලන්තය සහ ඕස්ටේ්‍රලියාව සමගින්ද තරග පැවැත්වීමට නියමිතව ඇත.

- 2079


අදහස් (0)

එංගලන්තයේ සංචාරයට කොදෙව් පිලට අනුමැතිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.