Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket උපුල් තරංගත් සමුගනී

උපුල් තරංගත් සමුගනී

editorial - 2021 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවකු වූ උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට නිවේදනය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද මේ බව තහවුරු කරන අතරම උපුල් තරංග ඒ සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් පිටුවේ සහ ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණි.

2005 අගෝස්තු මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව එක්දින වරම් දිනාගත් තරංග වසර 15 කට වැඩි කාළයක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය. මේ වනවිට 36 වැනි වියේ පසුවන වමත් පිතිකරුවා අවසන් වරට 2019 මාර්තු මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගයකට සහභාගිවී ඇති අතර ඉන් පසුව වසර දෙකකින් පමණ ජාතික කණ්ඩායමට කැඳවා නැත.

ටෙස්ට් තරග 31 කදී ශතක 3 ක් සහ අර්ධ ශතක 8 ක් සමගින් ලකුණු 1754 ක් ලබාගෙන ඇති තරංග එක්දින තරග 235 කදී ශතක 15 ක් සහ අර්ධ ශතක 37 ක් සමගින් ලකුණු 6951 ක් රැස්කර ඇත. විස්සයි20 ජාත්‍යන්තර තරග 26 කට පමණක් ක්‍රීඩා කර ඇති ඔහුට එහිදී රැස්කිරීමට හැකිවී ඇත්තේ ලකුණු 407 ක් පමණි. උපුල් තරංග 2011 වසරේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේදී සිම්බාබ්වේ (133) සහ එංගලන්ත (නොදැවී 102) කණ්ඩායම් වලට එරෙහිව ලබාගත් ශතක හේතුවෙන් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවිය.

සනත් ජයසූරිය, තිලකරත්න ඩිල්ෂාන් සහ මහේල ජයවර්ධන සමගින් අවස්ථා 7 කදී පළමු කඩුල්ල සඳහා ලකුණු 200 ට වැඩියෙන් සම්බන්ධතා පැවැත්වීමට තරංග සමත්වී ඇත. 2006 වසරේදී සනත් ජයසූරිය සමගින් -ලීඩ්ස් හිදී එංගලන්තයට එරෙහිව පළමු කඩුල්ල සඳහා පැවැත්වූ ලකුණු 286 ක සම්බන්ධතාවය මෙතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින අන්තර්ජාතික තරගයකදී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පැවැත්වූ ඉහළම සම්බන්ධතාවය ලෙස වාර්තා පොත් අතරට එක්වී ඇත. පළමු කඩුල්ල සඳහා පැවැති එම සම්බන්ධතාවය ලෝකයේ හොඳම එක්දින සම්බන්ධතා අතර සිව්වැනි ස්ථානය ගෙන ඇත.

2016 සහ 2017 වසර වලදී එක්දින තරග 22 කට නායකත්වය ලබාදී ඇති තරංග ඉන් තරග 4 ක් ජයගෙන ඇත. තරග 16 ක් පරාජයට පත්වී ඇති අතර තරග 2 ක් ජයපරාජයෙන් තොරව අවසන්වී ඇත. 2017 වසරේදී විස්සයි20 තරග 6 කට නායකත්වය ලබාදී ඇති තරංග ඉන් තරග 3 ක් ජයගෙන ඇති අතර තරග 3 ක් පරාජයට පත්වී ඇත.

ශ්‍රී ලංකාවේ පැවැති පළමු ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේදී අවසන් වරට දඹුල්ල වයිකිංග් පිල නියෝජනය කර ඇති තරංග එහිදීද පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්විය.

- 2079


අදහස් (0)

උපුල් තරංගත් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.