Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket උපුල් තරංගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට

උපුල් තරංගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට

රොෂාන් ගුණරත්න - 2021 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් ඉන්දියාවේදී පැවැත්වෙන “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස්” විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමගින් එක්වන බව තහවුරු කර තිබේ. දින කිහිපයකට ඉහතදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් උපුල් තරංග ඉන් පසුව මෙම තරගාවලියට එක්වීමට කැමැත්ත ලබාදී ඇත.

රොමේෂ් කළුවිතාරණ, මුත්තයියා මුරලිදරන්, මාවන් අතපත්තු, චමින්ද වාස්, උපුල් චන්දන සහ සචිත්‍ර සේනානායක ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමෙන් ඉවත්වී ඇති අතර ඒ වෙනුවට සනත් ජයසූරිය, නුවන් කුලසේකර, ධම්මික ප්‍රසාද්, චින්තක ජයසිංහ, උපුල් තරංග සහ රසල් ආනල්ඩ් එක්වී සිටිති. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකයා ලෙස හිටපු ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කරනු ඇත.

තරගාවලිය නතර කළ තැනින් යළිත් ආරම්භ කිරීමට සංවිධායකයන් කටයුතු කර ඇති අතර ඉන්දියා ලෙජන්ඩ්ස්, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්, බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් සහ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් යන කණ්ඩායම් වලට අමතරව තවත් කණ්ඩායම් දෙකක් තරගාවලියට එක්කර ගැනිමට තීරණයවී ඇත. පසුගිය වසරේ තරගාවලියට එක්වූ ඕස්ටේ්‍රලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම සංචාරක සීමා කිරීම් හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවත්වී ඇති අතර ඒ වෙනුවට බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම ආදේශ කර ඇත. ඊට අමතරව එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමද තරගාවලියට එක්වන අතර ඒ අනුව මෙවර තරගාවලිය කණ්ඩායම් 6 ක් දක්වා ඉහළ යනු ඇත. 

පැවැති තරග 4 න් දෙකකට සහභාගිවී ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැති තරගය ජයගෙන ඇති අතර ඉන්දියාවට එරෙහිව පැවැති තරගය පරාජයට පත්වී ඇත. ඕස්ටේ්‍රලියාව වෙනුවට තරගාවලියට ආදේශ කර ඇති බංග්ලාදේශයට, ශ්‍රී ලංකාව සමගින් ක්‍රීඩා කිරීමට සිදුවන නමුත් ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැති තරගය ජයගෙන ඇති බැවින් ශ්‍රී ලංකාවට එම ප්‍රසාද ලකුණු 2 ක හිමිවන බව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කළමණාකරු ශ්‍යාම් ඉම්පෙත් මහතා පැවසීය. ඒ අනුව බංග්ලාදේශයට සහ  එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම් වලට සියළුම කණ්ඩායම් සමගින් තරග කිරීමට අවස්ථාව හිමිවනු ඇත. ඉතිරි සියළුම තරග රායිපූර් හිදී පැවැත්වේ.

මූලික වටයේදී සියලුම කණ්ඩායම් ප්‍රතිවාදී කණ්ඩායම් සමගින් තරග වදින අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් හතර මාර්තු මස 17 සහ 19 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබාගනු ඇත. අවසන් මහා තරගය මාර්තු 21 වැනිදා රායිපූර් හිදී පැවැත්වේ.

සෑම තරගයක්ම ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය. 

“රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස්” තරග කාළසටහන

මාර්තු 5 - ඉන්දියාව සහ බංග්ලාදේශය 
මාර්තු 6 - ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්
මාර්තු 7 - එංගලන්තය සහ බංග්ලාදේශය
මාර්තු 8 - දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව
මාර්තු 9 - ඉන්දියාව සහ එංගලන්තය
මාර්තු 10 - බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව
මාර්තු 11 - එංගලන්තය සහ දකුණු අප්‍රිකාව
මාර්තු 12 - බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව්
මාර්තු 13 - ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව
මාර්තු 14 - ශ්‍රී ලංකාව සහ එංගලන්තය
මාර්තු 15 - දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය
මාර්තු 16 - එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්
මාර්තු 17 - පළමු අවසන් පූර්ව තරගය
මාර්තු 19 - දෙවැනි අවසන් පූර්ව තරගය
මාර්තු 21 - අවසන් මහා තරගය

 


අදහස් (0)

උපුල් තරංගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.