Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දීය - බංග්ලාදේශ තරගාවලි ගැන සුබවාදී බලාපොරොත්තු

ඉන්දීය - බංග්ලාදේශ තරගාවලි ගැන සුබවාදී බලාපොරොත්තු

දමින්ද විජේසූරිය - 2020 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



කොරෝනා වයිරසය පැතිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින සීමා ලිහිල් කිරීමත් සමගින් ඉන්දීය සහ බංග්ලාදේශ කණ්ඩායම් වල ශ්‍රී ලංකා සංචාර නියමිත පරිදි සංවිධානය කළ හැකිද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විමසා බලමින් සිටින බව වාර්තාවේ. එහෙත් මෙම සංචාර ක්‍රියාත්මක කිරීම මෙන්ම ක්‍රීඩකයන් නැවත පුහුණුවීම් සඳහා කැඳවීම සම්බන්ධයෙන් පරස්පර විරෝධී අදහස් මතුවෙමින් තිබේ.  

ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන් හෝ ශ්‍රී ලංකාවෙන් මෙම තරගාවලි දෙකින් එකක් හෝ කල්දැමුණු බවක් මේ වන තෙක් කියැවී නැත. එබැවින් එහි නිල තත්ත්වය වන්නේ යෝජිත කාල වකවානු ඇතුළතදී මෙම තරගාවලි දෙකම පැවැත්විය හැකි බවයි. කෙසේ වෙතත් ජූනි - ජූලි මාස වලදී නොහැකි වුවහොත් ඉදිරි වසර තුනක කාලය ඇතුළතදී හෝ මෙම තරගාවලි දෙක පැවැත්වීම සඳහා එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ රූපවාහිනී අයිතිවාසිකම් ලයිස්තුවට ඇතුළත් කර තිබේ.

ඉන්දීය සහ බංග්ලාදේශ කණ්ඩායම් වල ශ්‍රී ලංකා සංචාර නියමිත පරිදි සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය උත්සුක වන්නේ එම සංචාර දෙකින් විශාල මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනට ගලා එන බැවිනි.

කොවිඞ් වයිරසයේ ව්‍යාප්තිය නිසා පසුගිය මාර්තු 20 වැනිදා අගුළු දැමූ ශ්‍රී ලංකාව මේ වන විට ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. ඉන්දියාවේ නගර වලද අගුළු ඇරෙමින් තිබුණ නමුත් ඊයේ (18 වැනිදා) හදිසියේම එය තවත් දෙසතියකට දීර්ඝ කෙරිණ. එහෙත් එක් එක් ප්‍රාන්ත වල පවතින තත්ත්වය අනුව අගුළු දැමීමේ සීමා මායිම් තිබේ.
එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගි වීම සඳහා ඉන්දීය පිල ලබන (ජූනි) මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබිණ. ඉන් අනතුරුව ටෙස්ට් තරග 3 ක් සඳහා බංග්ලාදේශ පිල ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබිණ. එය ලෝක ටෙස්ට් ශූරතාවලියටත් ඇතුළත් තරගාවලියකි.

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඊයේ (18 වැනිදා) වන විට 986 ක් වී තිබුණ නමුත් ප්‍රතිකාර ලබමින් සිටියේ රෝගීන් 418 ක් පමණි. ඇරත් ඉන්දියාවට සහ බංග්ලාදේශයට සාපේක්‍ෂව ශ්‍රී ලංකාවේ ජනගහනය අඩුවීමත්, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන් ලක්‍ෂ සංඛ්‍යාවක් සිටින නමුත් ඔවුන් ක්‍රිකට් උන්මන්තකයන් නොවීමත් නිසා මෙම තරගාවලි දෙකම ශ්‍රී ලංකාවේදී පැවැත්වීමේ වැඩි අවස්ථාවක් තිබේ.

ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද  සිල්වා මහතා කීවේ කෙසේ හෝ මෙම තරගාවලි දෙකම නියමිත කාලයේදී පැවැත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනයේ අභිප්‍රාය බවයි. මේ අතර ජූනි මාසයේ පළමු සතිය අවසන් වීමට පෙර රූපවාහිනී ගිවිසුම් සම්බන්ධයෙන් ලංසු තැබීම අවසන් කිරීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන බවත් ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

“මේ වෙනකොට ඒ අය (ලංසු තැබීමට බලාපොරොත්තුව සිටින රූපවාහිනී සමාගම්) අපෙන් විවිධ විමසීම් කරමින් සිටිනවා. මේ (මැයි) මාසේ 25 වැනිදාට ඉස්සෙල්ලා අපි ඒ සම්බන්ධයෙන් තොරතුරු දන්වා යැවිය යුතුයි”
“ඊට පස්සේ ලබන මාසේ පළමු සතිය වෙද්දී අපි ලංසු තැබීමට දින යොදා ගන්න ඕනේ.. ඒත් ඒ වෙනකොට ඉන්දීය සහ බංග්ලාදේශ කණ්ඩායම් වල ශ්‍රී ලංකා සංචාර තියෙන්නේ කොයි කාලේද කියා වැටහීමක් තියෙන එක ඉතාම වාසිදායක වෙනවා” යයිද ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

ජූනි මස 1 වැනිදා සිට නැවතත් පුහුණුවීම් ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ක්‍රීඩා අමත්‍යංශයෙන් දැනුම් දී තිබේ. ජාතික පුහුණුකරු මිකී ආතර් මහතා මේ වන විටත් පුහුණු සැලසුම් කිහිපයක්ම අතැතිව සිටින අතර එය ක්‍රීඩකයන් 5 දෙනාගේ සිට සම්පුර්ණ කණ්ඩායමම පුහුණුවීම් කිරීමට පැමිණීම දක්වාම විහිදුණු සැලසුම් සමුදායකි. කෙසේ වෙතත් මෙම තරග පැවැත්වීමට නම් ශ්‍රී ලංකාව, ඉන්දියාව මෙන්ම බංග්ලාදේශයට දැනට පවත්වාගෙන යනු ලබන සංචාරක සීමා ළිහිල් කළ යුතුව තිබේ. අනෙක් අතට ක්‍රීඩකයන් පුහුණුවීම් වලට පැමිණීමත් අත්‍යවශ්‍ය කාරණාවක් වී තිබේ.

“ක්‍රීඩකයන්ගේ සූදානම් වීම ගැනත් අපි බලන්න ඕනේ..ක්‍රීඩකයන් පුහුණුවීම් වලට ඒවි. ඒත් අනෙක් කාරණාත් සොයා බලන්න සිද්ධ වෙනවා” යයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ භාණ්ඩාගාරික අරුන් දුමාල් මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබිණ.

දුමාල් මහතා රොයිටර් පුවත් සේවයට වැඩිදුරටත් පවසා තිබුණේ ඉන්දිය ක්‍රීඩකයන්ට පුහුණුවීම් සඳහා කලබලයෙන් නොකැඳවන බවයි. ඉන්දියාවේ නගර අගුළු දැමීම මේ මස 31 වැනිදා දීර්ඝ කළද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවීම් කිරීම සඳහා ක්‍රීඩාංගණ සහ ව්‍යායාම මධ්‍යස්ථාන විවෘත කර තිබේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙවත් අයි.පී.එල්. තරගාවලිය කල්දැමීම නිසා ඉන්දීය ක්‍රීඩකයන් සිටින්නේද කොයි මොහොතේ නැවත පිටියට බසින්නේද යන්න නොයිවසිලිවන්තවය. ඔවුන්ගේ උනන්දුව කොතෙක්ද යත් ඕස්ට්‍රේලියානු සංචාරයේ සියලුම ටෙස්ට් තරග ඇඩිලේඞ් නුවරදී, ප්‍රේක්‍ෂකයන් නොමැතිවම, පැවත්වීමටත් ඉන්දීය ක්‍රීඩකයෝ එකඟ වී සිටිති.

මේ වසර අගදී පැවැත්වීමට නියමිත ඉන්දීය පිලේ ඕස්ට්‍රේලියානු සංචාරයට ටෙස්ට් තරග 4 ක් සහ එක්දින තරග 3 ක් ඇතුළත් වන අතර එහි තක්සේරු වටිනාකම ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 300 ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 200 කට ආසන්න අගයකි.

ඉන්දීය ක්‍රීඩකයන් නැවත පුහුණුවීම් සඳහා කැඳවීමේදී නායක විරාට් කෝලි සහ උපනායක රෝහිත් ෂර්මා සෙසු ක්‍රීඩකයන් අතරට එකවරම නොකැඳවන බවද ඉන්දීය ක්‍රිකට් බලධාරීහු කියති. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ හදවත වන මුම්බායි නුවරින් පමණක් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයි.

 


අදහස් (0)

ඉන්දීය - බංග්ලාදේශ තරගාවලි ගැන සුබවාදී බලාපොරොත්තු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.