Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාව දෙවැනි තරගයත් ජයගනී

ඉන්දියාව දෙවැනි තරගයත් ජයගනී

editorial - 2019 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගය ලෙස ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන් නුවර කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති තරගය ලකුණු 36 කින් ජයගැනීමට ඉන්දියාව සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 353 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාවට ඕවර 50 අවසානයේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 316 ක් පමණි. ඬේවිඞ් වෝනර් (56), ස්ටීවන් ස්මිත් (69) සහ ඇලෙක්ස් කේරී (නොදැවී 55) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙනා යාමට අපොහොසත් වූහ.

ඬේවිඞ් වෝනර් පන්දු 84 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 56 ක් සහ ස්ටීවන් ස්මිත් පන්දු 70 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 69 ක් රැස්කිරීමට සමත්වූහ. මැදපෙළ පිතිකරුවකු වූ ඇලෙක්ස් කේරී අවසන් ඕවර කිහිපයේදී හුදකලා සටනක නිරත වෙමින් පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 55 ක් රැස්කිරීමට සමත්විය.

බුවනේෂ්වර් කුමාර් යවන ලද 40 වැනි ඕවර සිවුවැනි සහ අවසන් පන්දු වලදී ස්ටීවන් ස්මිත් සහ මාකස් ස්ටොයිනිස් දැවීයාම ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ පරාජයට මූලික සාධකය විය.

බුවනේෂ්වර් කුමාර් සහ ජස්ප්‍රීට් බුම්රා කඩුලු 3 බැගින්ද යුස්වේන්ද්‍ර චහල් කඩුලු 2 ක් ද දවාගනිමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

ෂිකර් ධාවන්ගේ (117) ශතකයත් විරාට් කෝලීගේ (82) අර්ධ ශතකයත් හමුවේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 352 ක් රැස්කිරීමට සමත්විය.

පන්දු 94 කදී 17 වැනි එක්දින ශතකය මෙන්ම ලෝක කුසලාන තරගාවලියකදී වාර්තාවූ තෙවැනි ශතකයද ලබාගැනීමට ෂිකාර් ධාවන් සමත්විය. මිචෙල් ස්ටාර්ක්ගේ පන්දුවක් හමුවේ අතිරේක ක්‍රීඩක නේතන් ලයන්ට ලබාදුන් උඩපන්දුව රැකගැනීමත් සමගින් ධාවන්ගේ ඉනිම අවසන් වනවිට හතරේ පහර 16 ක් සමගින් ලකුණු 117 ක් රැස්කර සිටියේය.

පළමු කඩුල්ල සඳහා සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් රෝහිත් ශර්මා සමගින් එක්ව පන්දු 135 කදී ලකුණු 127 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ෂිකාර් ධාවන් ඉන් නොනැවතී දෙවැනි කඩුල්ල සඳහා විරාට් කෝලී සමගින් එක්ව පන්දු 87 කදී ලකුණු 93 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීය.

ඉවසිලිවන්ත පිතිහරඹයක නිරතවූ කෝලීට අවසන් මෙහොතේ සිය ශතකය කරා යෑමට නොහැකිවූ අතර පන්දු 77 කදී ලකුණු 82 ක් රැස්කළ ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය. සිය එක්දින දිවියේ 50 වැනි අර්ධ ශතකය ලෙස වාර්තා කළ කෝලීට ඒ සඳහා වැයවූයේ පන්දු 55 ක් පමණි.

ධවාන් දැවී යාමෙන් පසු පන්දුවට පහරදීමට පැමිණි හර්දික් පාණ්ඩ්‍යා මුහුණදුන් පළමු පන්දුවෙන්ම කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරී වෙත ලබාදුන් උඩපන්දුව අතහැරීමේ ප්‍රතිවිපාක විදීමට ඕස්ට්‍රේලියානුවන්ට සිදුවිය. ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනගත් පාණ්ඩ්‍යා පන්දු 27 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 48 ක් රැස්කිරීමට සමත්විය.

විරාට් කෝලී සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 53 කදී ලකුණු 81 ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩනගමින් ඉන්දීය ලකුණු පුවරුව ඉහළ දැමීමට හර්දික් පාණ්ඩ්‍යා සමත්විය.

ඕස්ට්‍රේලියානු නායකයා පන්දු යවන්නන් 6 දෙනෙකු යොදාගත්තද ඔවුන් සියලුදෙනා ඉන්දීය පිතිකරුවන්ගේ දැඩි ප්‍රහාරයට ලක්වූහ. මාකස් ස්ටොයිනිස් කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.

මින්පෙර ලෝක කුසලාන තරග 11 කදී ඉන්දියාව සහ ඕස්ටේ්‍රලියාව හමුවී ඇති අතර ඉන් තරග 3 ක ජය ඉන්දියාවටත් තරග 8 ක ජය ඕස්ට්‍රේලියාවටත් හිමිවී ඇත.

 

 


අදහස් (0)

ඉන්දියාව දෙවැනි තරගයත් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.