Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉදිරිපෙළ කණු හතරක් පෙරළා දමයි

ඉදිරිපෙළ කණු හතරක් පෙරළා දමයි

දමින්ද විජේසූරිය - 2021 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලබන සඳුදා ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩකයන් සිව් දෙනකු ඉවත් කරනු ලැබ සිටිති. ඩිල්රුවන් පෙරේරා, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දු එම සිව් දෙනා වෙති. ඔවුන් සිව් දෙනාට අමතරව සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියෙන් සිටින තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් සැලකෙන ඉසුරු උදානද සංචාරයෙන් ඉවත් කරනු ලැබ සිටී.

ඩිල්රුවන් පෙරේරා සහ කුසල් ජනිත් පෙරේරා ඉවත් කර ඇත්තේ යෝග්‍යතා පරීක්‍ෂණය අසමත් වීම හේතුවෙනි. පසුගිය කාලයේදී දිගින් දිගටම අසාර්ථක වීම හේතුවෙන් කුසල් මෙන්ඩිස් කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර අවිශ්ක ප්‍රනාන්දු ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයට ඉදිරිපත් නොවීය. ඉසුරු උදාන ඉවත් කර ඇත්තේ ශාරීරික ආබාධයක් හේතුවෙනි.

ක්‍රීඩා ඇමතිවරයා විසින් ජාතික තේරීම් කමිටුව තවමත් නම්කර නැතත් ක්‍රීඩකයන් 20 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගනු ලැබ ඇත්තේ තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයන් දෙදෙනකු විසිනි. ඒ ක්‍රීඩා ඇමතිවරයාගේ දැඩි නිර්දේශ අනුගමනය කරමිනි.
“යෝග්‍යතා පරීක්‍ෂණය සමත් වෙන්න බැරිනම් ඒ එක්කෙනක්වත් ප්ලේන් එකට නග්ගවන්න එපා. ඉදිරියේදී වුණත් යෝග්‍යතා පරීක්‍ෂණය සමත් වෙන්නේ නැත්නම් ඒ ගොල්ලන්ව ශ්‍රී ලංකා කණ්ඩායමට ඕනේ නෑ” යයි ක්‍රීඩා ඇමති නාමල් රාජපක්‍ෂ මහතා තේරීම් කමිටු නිලධාරින්ට දැඩිව උපදෙස් දී තිබේ.

කුසල් ජනිත් පෙරේරා සහ ඩිල්රුවන් පෙරේරා යන දෙදෙනාම පසුගිය 12 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අසමත් වූහ. තමන්ගේ පාදයේ වළලුකර ආබාධයක් ඇතැයි කියමින් 11 වැනිදා සන්ධ්‍යාවේදී අවිශ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නේ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයට සහභාගි විය නොහැකි බවකි.

ඉදිරිපෙළ ක්‍රීඩකයන් සිව්දෙනකු ඉවත් කරන ලද නමුත් තරුණ ක්‍රීඩකයන් සිව් දෙනකු කණ්ඩායමට කැඳවීමට තේරීම් කමිටු නිලධාරීන් දෙදෙනා පියවර ගෙන තිබේ. පිතිකරු පැතුම් නිස්සංක, තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්, පිතිකරු අශේන් බණ්ඩාර සහ වමතින් වේග පන්දු යවන්නකු වන ඩිල්ෂාන් මධුෂංක කොදෙව් සංචාරයට එක්ව සිටිති. මෙම ක්‍රීඩකයන් අතුරින් අෂේන් බණ්ඩාර හැරුණු විට අනෙක් තිදෙනාම ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයෝ වෙති.

කොදෙව් පිලට එරෙහිව පළමුවෙන් පැවැත්වෙන්නේ විස්සයි-20 සහ එක්දින තරගාවලි දෙකයි. සීමිත ඕවර තරග 6 ට පසුව ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන බැවින් ටෙස්ට් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් පසුව තීරණයක් ගනු ඇත.

ධනංජය ද සිල්වා සහ ළහිරු තිරිමාන්න දෙදෙනා වෙනුවෙන් වෙනමම ශෘරිරික යෝග්‍යතා පරීක්‍ෂණයක් ඉදිරියේදී පැවැත්වෙනු ඇත. එහි ප්‍රතිඵල අනුව ටෙස්ට් කණ්ඩායමේ වෙනස්කම් කිරීමට අපේක්‍ෂා කෙරේ.

 

- 213


අදහස් (0)

ඉදිරිපෙළ කණු හතරක් පෙරළා දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.