Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇමරිකාවේ සිදුවීමෙන් ඩැරන් සැමී සසළ වෙයි

ඇමරිකාවේ සිදුවීමෙන් ඩැරන් සැමී සසළ වෙයි

editorial - 2020 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජුනි 2 (රොයිටර්)

සමාජ අසාධාරණයට එරෙහිව කතා කරන ලෙස බටහිර ඉන්දීය කොදෙව් හිටපු නායක ඩැරන් සැමී අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ඉල්ලා සිටී. එක්සත් ජනපද පොලිස් අත්අඩංගුවේ සිටියදී අප්‍රිකානු-ඇමරිකානු සම්භවයක් ඇති පුද්ගලයෙකු මැයි 25 වන දින මිය යාමෙන් පසු ඩැරන් සැමී වර්ගවාදය සම්බන්ධයෙන් සිය හඬ අවදි කර තිබේ.

මිනිත්තු නවයකට ආසන්න කාලයක් සුදු නිලධාරියෙකුගේ දණහිසට ගෙල තදවී සිටීම නිසා 46 හැවිරිදි කළු ජාතිකයෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සිදුවිය. මෙම සිදුවීම එක්සත් ජනපදය තුළ වාර්ගික ගැටුම් උත්සන්න කර ඇති අතර එම සිදුවීම ක්‍රීඩා ලෝකයේ දැඩි හෙළා දැකීමට ද හේතු වී තිබේ.

"අයි.සී.සී. යට සහ අනෙකුත් සියලුම ක්‍රිකට් පාලක මණ්ඩල වලටයි මා මේ කියන්නේ. මා වැනි මිනිසුන්ට සිදුවන්නේ කුමක්දැයි ඔබ නොදකිනවාද...?“

“මගේ වර්ගයාට එරෙහිව සිදුවන සමාජ අසාධාරණය වෙනුවෙන් ඔබ කතා නොකරන්නේද ...?" යයි කොදෙව් පිලේ හිටපු නායක ඩැරන් සැමී චිත්තවේගී ට්වීට් මාලාවකින් විමසයි.

"දැන් නිශ්ශබ්දව සිටීමට කාලය නොවේ. ඔබ මට ඇහුම්කන් දෙන්න ඕනේ“ යයි 2012 සහ 2016 දී බටහිර ඉන්දීය කොදෙව් පිලට විස්සයි-20 ලෝක කුසලාන දිනා දුන් සැමී පැවසීය. වසර 2012 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැති අතර 2016 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේදී පැවැත්විණ.

මේ වන විට ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින 36 හැවිරිදි කොදෙව් නායකයා කියා සිටියේ ෆ්ලොයිඩ්ගේ මරණයේ වීඩියෝව නැරඹීමෙන් පසුව පවා ක්‍රිකට් ලෝකය ඒ වෙනුවෙන් හඬ නොනැගූ නමුත් “ඔබත් ගැටලුවේ කොටසක්” බවයි. කෙසේ වෙතත් සැමීගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිලධාරියෙක් ඉදිරිපත් නොවීය.

කොදෙව් කණ්ඩායම් ආරම්භක පිතිකරුවා වන ක්‍රිස් ගේල් ද සමාජ මාධ්‍යවල ප්‍රකාශයක් කරමින් කියා සිටියේ "කළු ජාතිකයාගේ ජීවිතයද වෙනත් ඕනෑම ජාතිකයකුගේ ජීවිතයක් මෙන්ම වැදගත් වන බවයි!"

"කළු ජාතිකයෙකු වීම නිසා කණ්ඩායම් තුළ පවා මට කුඩම්මාගේ සැලකිල්ල ලැබුණු අවස්ථා තියෙනවා“ යයි ගේල් පැවසීය.

මේ අතරවාරයේදී ඇමරිකාවේ සිදුවීම් හෙළා දකිමින් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය අගනා ඡායාරූපයක් ට්විටර් ජාලයට මුදා හැරියේය. එහි පෙනෙන්නේ එංගලන්තයේ උපත ලද ක්‍රීඩකයන් වන ජොස් බට්ලර්, දකුණු ආසියානු සම්භවයක් ඇති අදිල් රෂීඩ් සහ බාබඩෝස්හි උපත ලද ජොෆ්රා ආචර් එකිනෙකා වැළඳගෙන සිටින ආකාරයයි.  “අපි විවිධත්වය වෙනුවෙන් පෙනී සිටිමු, අපි ජාතිවාදයට එරෙහිව නැගී සිටිමු.” යයි එම ඡායාරූපයට යටින් සටහන් වී තිබිණ.


 - 213
 


අදහස් (0)

ඇමරිකාවේ සිදුවීමෙන් ඩැරන් සැමී සසළ වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.