Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අයි.පී.එල්. වෙනුවෙන් ආසියානු කුසලාන බිල්ලට

අයි.පී.එල්. වෙනුවෙන් ආසියානු කුසලාන බිල්ලට

editorial - 2020 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේදී අයි.පී.එල්. තරගාවලිය පැවැත්වීමේ බලාපොරොත්තු එන්න එන්නම සිඳී යමින් තිබේ. එහෙත් පෞද්ගලික හිමිකම් ඇති කණ්ඩායම් අතර පැවැත්වෙන ලොව විශාලතම ක්‍රිකට් තරගාවලිය වන අයි.පී.එල්. තරගාවලිය කෙසේ හෝ සංවිධානය කිරීමේ බලාපොරොත්තු අතහැරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානම් නැත.

මේ වන විට ලෝකය පුරා පැතිරයමින් පවතින කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාව දින 21 ක කාලයක් අගුළු දමා තිබේ. එහෙත් දැනට පවතින තත්ත්වයෙන් මිදීමට ඉන්දියාවට හැකිවුවහොත් ලබන අගෝස්තු හෝ සැප්තැම්බර් මාස වලදී අයි.පී.එල්. තරගාවලිය සංවිධානය කිරීමට ඉන්දියාව සැලසුම් සකස් කරමින් සිටී.

අගෝස්තු - සැප්තැම්බර් මාස දෙක මේ සඳහා යොදාගැනීමේ කදිම වාසියක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට තිබේ. එනම් අයි.පී.එල්. තරගාවලියේ මෙන්ම ආසියානු කුසලාන තරගාවලියේදීත් සත්කාරක රූපවාහිනී සේවාව ‘ස්ටාර් ස්පෝට්ස්’ සමාගම වීමයි. එබැවින් අයි.පී.එල්. තරගාවලිය වෙනුවෙන් ආසියානු කුසලාන තරගාවලිය බිල්ලට දීමේ විකල්පය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සතුව තිබේ.

කළයුතු එකම දේ වන්නේ ආසියානු කුසලාන තරගාවලිය වෙනත් කාලයකදී පවත්වන ලෙස ආසියානු ක්‍රිකට් සමුළුවට බලකිරීමයි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට එය පහසු කාරියකි. අනෙක් අතට ආසියානු කුසලාන තරගවලිය වෙනුවෙන් අයි.පී.එල්. තරගාවලිය කල්දැමීමට සිදුවුවහොත් එයින් ‘ස්ටාර් ස්පෝට්ස්’ සමාගමට වන මූල්‍ය පාඩුවද අති විශාලය.

කොරෝනා වයිරසය ඉන්දියාව තුළ ක්‍රියාත්මක වීමේ ආරම්භයත් සමගම අයි.පී.එල්. තරගාවලියේ ආරම්භය අප්‍රේල් මස 15 වැනිදා දක්වා කල්දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගත්තේය. එහෙත් ඉන්දීය අගමැතිවරයා විසින් දින 21 ක කාලයක් ඉන්දියාව වසා දැමුවේ එයින් පසුවය. දැනට පවතින තත්ත්වය අනුව අයි.පී.එල්. තරගාවලිය අප්‍රේල් 15 වැනිදා ආරම්භ කිරීම හිතළුවක් පමණි.

කෙසේ වෙතත් තමන්ගේ සියලුම විකල්ප විවෘතව තබාගෙන සිටින ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අගෝස්තුවේදී තරගාවලිය නැවත සංවිධානය කිරීමට සූදානම් වන්නේ ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පොරතුවය. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වීමට නියමිතය.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ එකම බලාපොරොත්තුව වන්නේ තවත් මාස 4 ක කාලය තුළදී මෙම වයිරසයේ බලපෑම නැතිව යනු ඇත යන්නයි. කෙසේ වෙතත් එහි තත්ත්වය අනුව අයි.පී.එල්. තරගාවලියේ සැලැස්ම වෙනස් වනු ඇත. ඒ අනුව ලෝකයේ සෑම රටකම ක්‍රීඩකයන් සමගින් අයි.පී.එල්. තරගාවලිය පැවැත්වීමේ සිට ඉන්දීය ක්‍රීඩකයන්ට පමණක් විවෘත තරගාවලියක් සංවිධානය කිරීම දක්වා එය වෙනස් විය හැකිව තිබේ.

අයි.පී.එල්. තරගාවලියෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ලබන ආදායම සලකා බැලූ විට මෙම තරගාවලිය අවලංගු කිරීම යනු ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැවැන්ත පාඩුවකි. විශේෂයෙන්ම කොරෝනා වයිරසය හේතුවෙන් ඇතිවියහැකි ආර්ථික අවපාතයේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට තමන්ගේ මූල්‍ය ස්ථාවරය අතිශයින් වැදගත් වනු ඇත.

කොරෝනා වයිරසයේ බලපෑම ඇතිවීමට පෙර සැප්තැම්බර් මාසයේදී ඉන්දීය කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියට සහභාගි විය යුතුව තිබිණ. පසුව එංගලන්තය සමග එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග තුනකට ඉන්දියාවේදී සහභාගි විය යුතුව තිබිණ. ඕස්ට්‍රේලියා‌වේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙර ඕස්ට්‍රේලියා‌වේදීම විස්සයි-20 තරග 3 ක්ද ඉන්දියාව හමුවේ තිබිණ.

මේ අතරවාරයේදී අනෙක් රටවල කණ්ඩායම්ද විවිධ තරගාවලි සඳහ පොරොන්දු පත්‍ර අත්සන් කර තිබේ. එංගලන්ත ගිම්හානය නිමා වන්නේ සැප්තැම්බර් 15 වැනිදාය. ඒ බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය සහ අයර්ලන්තය සමග පැවැත්වෙන තරගාවලි තුනකින් අනතුරුවය. දකුණු අප්‍රිකානුවන්ගේ කොදෙව් සංචාරය නිමා වන්නේ අගෝස්තු 16 වැනිදාය.ඕස්ට්‍රේලියා‌නු  ක්‍රීඩකයන් නිදහසේ සිටියද විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙර ඕස්ට්‍රේලියා‌ව සහ කොදෙව් පිල අතර විස්සයි-20 තරගාවලියක්ද වෙයි.

මෙම තරගාවලි නිමාවීම තෙක් කල්බැලීමට ඉන්දියාවට සිදුව ඇත්තේ එංගලන්ත, ඕස්ට්‍රේලියා‌ව, දකුණු අප්‍රිකානු මෙන්ම කොදෙව් ක්‍රීඩකයන්ද වැඩි දෙනෙක් අයි.පී.එල්. තරගාවලියේදී ක්‍රීඩා කරන බැවිනි.

අගෝස්තු - සැප්තැම්බර් කාලයේදී අයි.පී.එල්. තරගාවලිය පැවැත්වීමට දින 37 ක කාල තීරුවක් ලැබුණද, සම්පූර්ණ තරගාවලිය හෝ සංෂිප්ත තරගාවලියක් වුවද පැවැත්වීමට නම් වර්ෂාවෙන් හානියට පත්නොවී, තරග පැවැත්විය හැකි ක්‍රීඩාංගණ සොයාගැනීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සිදුවනු ඇත. මෙම කාලය ඉන්දියාවේ මෝසම් වැසි සමයයි.

 

 


අදහස් (0)

අයි.පී.එල්. වෙනුවෙන් ආසියානු කුසලාන බිල්ලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.