Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අයර්ලන්තය ලෝක ශූර එංගලන්තය පරදවයි

අයර්ලන්තය ලෝක ශූර එංගලන්තය පරදවයි

editorial - 2020 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

පෝල් ස්ටර්ලිංගේ (142) සහ ඇන්ඩි බැල්බර්නිගේ (113) විශිෂ්ඨ පිතිහරඹය හමුවේ එංගලන්තයට එරෙහිව සදම්ප්ටන්හිදී පැවැති තෙවැනි එක්දින තරගය කඩුලු 7 කින් ජය ගැනීමට අයර්ලන්තය ඊයේ  (4 වැනිදා) සමත්විය. එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගතකිරීම් අනුව ප්‍රසාද ලකුණු 49 ක් සහිතව 11 වැනි ස්ථානයේ සිටි අයර්ලන්තය විසින පරාජය කරන ලද්සේ එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගතකිරීම් අතරේ අංක 1 හිමි ලෝක ශූර එංගලන්ත කණ්ඩායමයි. එංගලන්තය සතු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 127 කි.

මෙම තරගාවලියේ පළමු තරග දෙකම ජයගත් එංගලන්තය තරගාවලිය 2-1 ක් ලෙස ජය ගත්තේය. ඒ අනුව එක්දින සුපර් ලීග් තරගාවලියේදී එංගලන්තයට ප්‍රසාද ලකුණු 20 ක්ද අයර්ලන්තයට ප්‍රසාද ලකුණු 10 ක්ද හිමිවී තිබේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 329 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්තය ඕවර 49.5 කදී කඩුලු 3 ක් පමණක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කරගැනිමට සමත්විය. පෝල් ස්ටර්ලිං සහ ඇන්ඩි බැල්බර්නි ශතක ලබාගනිමින් දෙවැනි කඩුල්ල සඳහා පන්දු 196 කදී ගොඩනැගූ ලකුණු 214 ක සම්බන්ධතාවය හේතුවෙන් අයර්ලන්තයට ජයග්‍රහණය කරා යෑමට අවස්ථාව උදාවිය.

නවවැනි එක්දින ශතකය ලබාගත් පෝල් ස්ටර්ලිං පන්දු 128 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 142 ක් රැස්කර සිටියදී ඉතා අවාසනාවන්ත ලෙස දුවද්දි දැවීයාමකට ලක්විය. සිය හයවැනි එක්දින ශතකය ලබාගත් නායක ඇන්ඩි බල්බර්නි පන්දු 112 කදී හතරේ පහර 12 ක් සමගින් ලකුණු 113 ක් ලබාගත්තේය. එංගලන්ත නායකයා වේගපන්දු යවන්නන් සිවුදෙනෙකු සහ දඟපන්දු යවන්නන් දෙදෙනෙකු යොදාගත්තද අයර්ලන්ත පිතිකරුවන් මෙල්ල කිරීමට අපොහොසත් විය.

කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත නායක ඇන්ඩි බැල්බර්නි පළමුව පන්දුවට පහරදීමට එංගලන්තයට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 328 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

වේගවත් පිතිහරඹයක නිරතවූ එංගලන්ත නායක ඔයින් මෝගන් ශතකයක්ද (106), ඔහුට අනගි සහයක් ලබාදුන් ටොම් බැන්ටන් (58) සහ ඩේවිඩ් විලී (51) අර්ධ ශතක ලබාගනිමින් එංගලන්ත ලකුණු පුවරුව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.

පන්දු 84 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 15 ක් සමගින් වේගවත් ලකුණු 106 ක් රැස්කළ ඔයින් මෝගන් සිය එක්දින දිවියේ රැස්කළ 14 වැනි ශතකය මෙයයි. ටොම් බැන්ටන් පන්දු 51 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 58 ක් සහ ඩේවිඩ් විලී පන්දු 42 කදී හයේ පහර සහ හතරේ පහර 3 බැගින් එල්ල කරමින් ලකුණු 51 ක් ලබාගත්තේය.

ඔයින් මෝගන් සහ ටොම් බැන්ටන් එක්ව සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 110 කදී ලකුණු 146 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර ඩේවිඩ් විලී සහ ටොම් කරන් එක්ව අටවැනි කඩුල්ල සඳහා පන්දු 60 කදී තවත් ලකුණු 73 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.

ක්‍රෙග් යංග් කඩුලු 3 ක් ද ජොෂ් ලිට්ල් සහ කර්ටිස් කැම්ෆර් කඩුලු 2 බැගින් දවාගනිමින් අයර්ලන්තය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


එංගලන්තය - ඕවර 49.5 කදී සියලුදෙනා දැවී 328
(ඔයින් මෝගන් 106, ටොම් බැන්ටන් 58, ඩේවිඩ් විලී 51, ටොම් කරන් නොදැවී 38, ක්‍රෙග් යංග් 53/3, ජොෂ් ලිට්ල් 62/2, කර්ටිස් කැම්ෆර් 68/2)

අයර්ලන්තය - ඕවර 49.5 කදී කඩුලු 3 ක් දැවී 329
(පෝල් ස්ටර්ලිං 142, ඇන්ඩි බල්බර්නි 113, හැරී ටෙක්ටර් නොදැවී 29, කෙවින් ඕබ්‍රියන් නොදැවී 21)

 

 

 

- 2079


අදහස් (0)

අයර්ලන්තය ලෝක ශූර එංගලන්තය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.