Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අභියෝගය බාරනොගත්තාට දෝනිට විවේචන වැලක්

අභියෝගය බාරනොගත්තාට දෝනිට විවේචන වැලක්

editorial - 2020 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව සාජා ක්‍රීඩාංගණයේදී පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ලැබූ ලකුණු 16 ක පරාජය සම්බන්ධයෙන් චෙන්නායි කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි ක්‍රිකට් විචාරකයන්ගේ දැඩි විවේචනයට ලක්ව සිටී.  ජයග්‍රහණය සඳහා ලකුණු 217 ක දැවැන්ත ඉලක්කයක් හඹායමින් සිටියදී චෙන්නායි කණ්ඩායමේ 5 වැනි කඩුල්ලත් බිඳවැටෙන තුරුම දෝනි පන්දුවට පහරදීම සඳහා පිටියට නොපැමිණීම මවිතයට කරුණක් බව විචාරකයෝ පවසති. එහිදී අත්දැකීම් අඩු නවක ක්‍රීඩකයන් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ඉහළින් පන්දුවට පහරදීම සඳහා යෙදවීමට දෝනි ගත් තීරණයද දැඩි ලෙස මතභේදයට තුඩුදී තිබේ.

මුලු ලකුණු සංඛ්‍යාව 58 ක් වන විට චෙන්නායි කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ මුරලි විජේ (21) සහ ෂේන් වොට්සන් (33) පිටියෙන් ඉවත් කිරීමට ශ්‍රෙයාස් ගෝපාල් සහ රාහුල් තේවතියා සමත් වූහ. ඉන් අනතුරුව පිටියට පිවිසි ෆෆ් ඩුප්ලෙසී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 37 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 72 ක් රැස්කරමින් සිය කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආවේය.

ඩුප්ලෙසීගේ සහයට විස්සයි20 ජාත්‍යන්තර තරග 5 කට සහ අයි.පී.එල්. තරග 11 කට පමණක් ක්‍රීඩා කර ඇති සෑම් කරන්, සිවුවැනි පිතිකරුවා ලෙස පිටියට යැවීමට දෝනි පියවර ගැනීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්විය. පන්දු 6 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 17 ක් ලබා සිටියදී කරන් දැවී යාමත් සමග පන්දුවට පහරදීමට යැවීම සඳහා දෝනිගේ මීළඟ තේරීම වූයේ සිය මංගල අයි.පී.එල්. තරගයට ක්‍රීඩා කළ රුතුරාජ් ගයික්වාඞ්ය.

මුහුණදුන් පළමු පන්දුවේදීම ගයික්වාද් ලකුණු නොළබා දැවීගියද, ඉන් අනතුරුව හෝ පන්දුවට පහරදීම සඳහා දෝනි පිටියට නොපැමිණීම මවිතය දනවන කරුණක් යැයි විචාරකයෝ පැවසූහ. ජයග්‍රහණය සඳහා පන්දු 66 කදී ලකුණු 140 ක් අවශ්‍යව තිබූ එම අවස්ථාවේදී අයි.පී.එල්. තරගවල ලකුණු 43.49 ක සාමාන්‍යකට හිමිකම් කියන දෝනිට පෙර පන්දුවට පහරදීම සඳහා පැමිණියේ ලකුණු 22.94 ක සාමාන්‍යකට හිමිකම් කියන කේදර් ජාදව්ය.

හත්වැනි පිතිකරුවා ලෙස දෝනි පිටියට පිවිසෙන විට චෙන්නායි කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දු පන්දු 38 කදී ලකුණු 103 ක් අවශ්‍යව තිබිණ. එහෙත් මුහුණදුන් පළමු පන්දු 13 තුළදී එක් අවස්ථාවක හෝ හතරේ සීමාවෙන් පිටතට පන්දුව යැවීමට අපොහොසත් වූ දෝනි අවසන් ඕවරය ආරම්භ වන විටත් ලබා සිටියේ ලකුණු 9 ක් පමණි.

එක් ලකුණ බැගින් ලබාගනිමින් පන්දුවට පහරදීමේ අවස්ථාව ඩුප්ලෙසීට ලබාදීමට දෝනි පියවර ගත්තද, ජොෆ්රා ආචර් යැවූ 18 වැනි ඕවරයේ 5 වැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක සංජු සැම්සන් අතට උඩ පන්දුවක් දෙමින් ඩුප්ලෙසී දැවී යෑමත් සමග චෙන්නායි කණ්ඩායමේ බලාපොරොත්තු බිඳවැටිණ. අවසන් ඕවරයේදී හයේ පහර 3 ක් ගැසීමට දෝනි සමත් වුවද, එය චෙන්නායි කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ සංජු සැම්සන් පන්දු 32 කදී ලකුණු 74 ක් රැස්කළේ දැවැන්ත හයේ පහර 9 ක් සහ හතරේ පහරක් සමගිනි. නායක ස්ටීවන් ස්මිත් (69) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 121 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද සැම්සන් සමත් විය. පන්දු 47 කදී වාර්තා වූ ස්මිත්ගේ අර්ධ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.


රාජස්ථාන් රෝයල්ස්  - ඕවර 20 කදී කඩුලු 7 කට 216
(සංජු සැම්සන් 74, ස්ටීවන් ස්මිත් 69, ජොෆ්රා ආචර් නොදැවී 27, සෑම් කරන් 33/3)

චෙන්නායි සුපර් කිංග්ස්  - ඕවර 20 කදී කඩුලු 6 කට 200
(මුරලි විජේ 21, ෂේන් වොට්සන් 33, ෆෆ් ඩුප්ලෙසි 72, සෑම් කරන් 17, කේදර් ජාදව් 22, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 29, රාහුල් තේවතියා 37/3)

 


 

-036


අදහස් (0)

අභියෝගය බාරනොගත්තාට දෝනිට විවේචන වැලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.