Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 52 ක ජයක්

ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 52 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2019 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය ලෙස කටුනායක මේරියන්ස් ක්‍රිඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 22 ක ජයන් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 327 ක ඉලක්කයක් හඹාගිය එක්සත් අරාබී එමීර් රාජ්‍යය යොවුන් පිලට ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 274 ක් පමණි. අන්ෂ් තන්දන් ශතකයක් සහ ඔසාමා හසන් අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද එක්සත් අරාබී එමීර් රාජ්‍යය යොවුන් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට එය ප්‍රමාණවත් නොවූහ.

අන්ෂ් තන්දන් පන්දු 108 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 100 ක් රැස්කිරීමට සමත්වූ අතර ඔසාමා හසන් පන්දු 46 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 55 ක් රැස්කිරීමට සමත්විය.

ලකුණු 105 කට කඩුලු 4 ක් දැවී අසීරූ අඩියක සිටි එක්සත් අරාබී එමීර් රාජ්‍යය යොවුන් පිලේ ඉනිම ගොඩනැගූ අන්ෂ් තන්දන් සහ ඔසාමා හසන් පස්වැනි කඩුල්ල සඳහා පන්දු 101 කදී ලකුණු 121 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ජයග්‍රහණයේ බලාපොරොත්තු ඇති කිරීමට සමත්වූහ. නමුත් ඔසාමා හසන් දැවීයාමෙන් පසුව පසුපෙළ පිතිකරුවන් එකිනෙකා දැවීයාමත් සමගින් ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වී ගියේය.

ඩීප් මිඞ්විකට්හී පන්දු රකිමින් සිටි චමිඳු විජේසිංහ දක්ෂ පන්දු රැකීමක නිරතවෙමින් ගුවනේ පාවෙමින් පැමිණ රැකගත් උඩපන්දුව හේතුවෙන් එක්සත් අරාබී එමීර් රාජ්‍යය යොවුන් පිලේ හයවැනි කඩුල්ල ලෙස සංචිත් ශර්මා දවාගැනීමට සමත්විය.

තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගත් නවෝද් පරණවිතාන කඩුලු 4 ක්ද නිපුන් ධනංජය සහ රොහාන් සංජය කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

අහන් වික්‍රමසිංහ (73), නවෝද් පරණවිතාන (61) සහ නිපුන් ධනංජය (60) අර්ධ ශතක ලබාගනිමින් දැක්වූ දක්ෂ පිතිහරඹය හේතුවෙන් ඕවර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 326 ක් රැස්කිරීමට ශ්‍රී ලංකා යොවුන් පිල සමත්විය.

වේගවත් ලකුණු රැස්කිරීමක නිරතවූ නවෝද් පරණවිතාන සහ අහන් වික්‍රමසිංහ තෙවැනි කඩුල්ල සඳහා පන්දු 86 කදී ලකුණු 113 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා යොවුන් පිලට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අවශ්‍ය අඩිතාලම දමාදීමට සමත්වූහ.

ආරම්භයේ සිටම වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වෙමින් පන්දු 36 කදී සිය අර්ධ ශතකය ලබාගත් අහන් වික්‍රමසිංහ පන්දු යැවූ රිෂාබ් මුඛර්ජීටම නැවත් උඩපන්දුවක් ලබාදෙමින් ලකුණු 73 කට දැවී ගියේය. පන්දු 52 කට මුහුණදුන් අහන් වික්‍රමසිංහගේ ඉනිමට හතරේ පහර 11 ක් ඇතුළත් විය.
 
ආරම්භක පිතිකරුවාගේ රාජකාරීය මැනවින් ඉටුකළ නවෝද් පරණවිතාන පන්දු 51 කදී සිය අර්ධ ශතකය ලබාගත්තේය. මුහම්මද් ෆර්සුඩීන්ගේ පන්දුවක් හමුවේ ඔසාමා හසන් රැකගත් උඩපන්දුව හේතුවෙන් නවෝද් පරණවිතානට සිය ඉනිම ලකුණු 61 දී අවසන් කිරීමට සිදුවූ අතර ඔහුගේ ඉනිම හතරේ පහර 9 කින් අලංකාර විය.

එක් අවස්ථාවකදී කඩුලු 2 කට ලකුණු 159 ක් රැස්කරමින් ශ්‍රී ලංකා යොවුන් පිල ප්‍රබල ස්ථානයක සිටියද ලකුණු 17 ක් තුල හොඳම පිතිකරුවන් තිදෙනෙකු දැවීයාම හේතුවෙන් ඉනිම කඩා වැටීමකට ලක්විය. නමුත් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ නිපුන් ධනංජය 6 වැනි කඩුල්ල සඳහා චමිඳු විජේසිංහ (27) සමගින් එක්ව පන්දු 57 කදී ලකුණු 48 ක සම්බන්ධතාවයක්ද, 7 වැනි කඩුල්ල සඳහා රොහාන් සංජය සමගින් එක්ව පන්දු 64 කදී තවත් ලකුණු 75 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීය.

7 වැනි කඩුල්ල ලෙස නිපුන් ධනංජය දැවීයනවිට පන්දු 69 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 60 ක් රැස්කිරීමට සමත්විය. ඔහුගේ අර්ධ ශතකය පන්දු 62 කදී වාර්තා විය. නිපුන් ධනංජයට අනගි සහයක් ලබාදෙමින් අවසන් ඕවර කිහිපයේදී වේගවත් ලකුණු රැස්කිරීමක නිරතවූ රොහාන් සංජය පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 36 ක් රැස්කරමින් ශ්‍රී ලංකා යොවුන් පිලේ ලකුණු පුවරුව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්විය.

රිෂාබ් මුඛර්ජී කඩලු 3 ක් සහ පලනිආපන් මෙයියප්පන් කඩුලු 2 ක් දවාගැනීමට සමත්වුවද දැඩි ප්‍රහාරයකට ලක්විය.

 


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 52 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.