Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වෙළඳ සේවා තරගාවලියට ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමත් එක්වෙයි

වෙළඳ සේවා තරගාවලියට ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමත් එක්වෙයි

රොෂාන් ගුණරත්න - 2019 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගමාලා අතරේ වැඩිම තරගකාරිත්වයකින් හෙබි තරගාවලිය ලෙස සැලකෙන වෙළඳ සේවා ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලිය සඳහා ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමද එක්වී ඇත.

සිංගර් ආයතනය සහ වෙළඳ සේවා ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරන තරගාවලිය කණ්ඩායම් 7 ක සහභාගීත්වයෙන් මේ මස 13 වැනිදා ආරම්භ කිරීමට නියමිතව ඇත. මෙය වෙළෙඳ සේවා එක්දින තරගාවලියේ 27 වැන්නයි.

පසුගිය වසරේ පැවැති තරගාවලියට කණ්ඩායම් 10 ක් එක්වුවද මෙවර කණ්ඩායම් 7 දක්වා අඩුවී ඇති අතර දිවයින පුරා සිටින දක්ෂතම ක්‍රිකට් ක්‍රිඩකයෝ මෙම කණ්ඩායම් අතර බෙදී යති. ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෝද හැකි සෑම අවස්ථාවකදීම තමන්ගේ සේවා ස්ථානයේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරති.

ලීග් තරගාවලියේ කණ්ඩායම් එකිනෙකා සමගින් තරග කරන අතර උපරිම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායමට ලීග් ශූරතාව පිරිනැමේ. ලීග් තරගාවලියේ සම්පූර්ණ තරග සංඛ්‍යාව 21 කි. මේ මස 13 වැනිදා ආරම්භ වන ලීග් තරගාවලිය 30 වැනිදා දක්වා පැවැත්වේ.

පසුගිය වසරේ පැවැති ‘ඒ’ කොටසේ තරගාවලියට සහභාගීවූ කොමර්ෂල් ක්‍රෙඩිට් ‘ඒ’ කණ්ඩායම, ටීජේ ලංකා, මාස් සිලූටා ‘ඒ’ කණ්ඩායම සහ කැන්රිච් ෆිනෑන්ස් ‘ඒ’ කණ්ඩායම ආයතනික හේතුන් මත තරගාවලියෙන් ඉවත්වී ඇත. ඒ හේතුවෙන් 27 වසරක වෙළඳ සේවා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම තරගාවලියට එක්කර ගැනීමට වෙළඳ සේවා ක්‍රිකට් සංගමය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමට ලීග් සහ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලි 2 ට පමණක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවුවද විස්සයි20 තරගාවලියට එක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන්ට අවසර ලබාදී නැත.
පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය නොවැම්බර් 02 වැනිදා ආරම්භ වන අතර අවසන් මහ තරගය නොවැම්බර් 23 වැනිදා වෙළද සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියට තරග 6 ක් ඇතුළත්වේ.
මෙම තරගාවලියේ සියලුම තරග වෙළද සේවා, කටුනායක මේරියන්ස්, කෝල්ට්ස්, පී.සරවනමුත්තු, බී.ආර්.සී. සහ එස්.එස්.සී යන ක්‍රීඩාංගණයන් හිදී පැවැත්වේ.

වෙළෙඳ සේවා විස්සයි20 ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 25 සිට 30 දක්වා පැවැත්වෙන අතර කණ්ඩායම් 6 ක් කාණ්ඩ 2 ක් යටතේ තරග වැදීමට නියමිතව ඇත.

 

ලීග් තරගාවලියේ දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දුයවන්නා සහ තරගාවලියේ තෝරා ගැනේ. පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් තරගයේ වීරයා සහ විස්සයි20 තරගාවලියේ දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දුයවන්නා සහ අවසන් තරගයේ වීරයා තෝරා ගැනෙනු ඇත.

මෙම තරගාවලියට අදාල අනුග්‍රහකත්ව චෙක්පත වෙළඳ සේවා සංගමය වෙත පිරිනැමීමේ අවස්ථාවට වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ උප සභාපති නලීන් වික්‍රමසිංහ, අනුග්‍රහකත්ව කමිටුවේ සභාපති රොහාන් සෝමවංශ, ප්‍රධාන ලේකම් සිරෝෂ ගුණතිලක, සිංගර් ශ්‍රී ලංකා වෙළඳ අධ්‍යක්‍ෂක කුමාර් සමරසිංහ සහ ජේෂ්ඨ ප්‍රවර්ධන කළමණාකරු කේ.ඩි.එස්. කනිෂ්ක යන මහත්වරු සහභාගී වූහ.


ලීග් තරගාවලියට සහභාගීවන කණ්ඩායම්
මාස් යුනිචෙලා, සම්පත් බැංකුව, ජෝන් කීල්ස් ‘ඒ’ කණ්ඩායම, ඩිමෝ ලංකා, හේලීස් ගෲප් ‘ඒ’ කණ්ඩායම, එල්.බී. ෆිනෑන්ස් සහ ශ්‍රී ලංකා වසය 19 න් පහළ කණ්ඩායම


ඒ ඒ කණ්ඩායම් පසුගිය තරගාවලියේදී දැක්වූ දස්කම් සහ නායකයෝ

■ එල්.බී. ෆිනෑන්ස් (2019 ලීග් ශූරයෝ)
(ලක්ෂාන් රොඩිරිගු නායකත්වය දරයි)
■ ඩිමෝ ලංකා (2019 පිළිමළුන් පිටුදැකීමේ අනුශූරයෝ)
(නිසල තාරක නායකත්වය දරයි)
■ මාස් යුනිචෙලා (2019 විස්සයි20 ශූරයෝ)
(කුසල් ජනිත් පෙරේරා නායකත්වය දරයි)
■ ජෝන් කීල්ස් ‘ඒ’ කණ්ඩායම (2019 විස්සයි20 අනුශූරයෝ)
(භානුක රාජපක්ෂ නායකත්වය දරයි)
■ සම්පත් බැංකුව
(ජීවන් මෙන්ඩිස් නායකත්වය දරයි)
■ හේලීස් ගෲප් ‘ඒ’ කණ්ඩායම
(ළහිරු තිරිමාන්න නායකත්වය දරයි)
■ ලංකා වයස 19 න් පහළ කණ්ඩායම
(නිපුන් ධනංජය නායකත්වය දරයි )


අදහස් (0)

වෙළඳ සේවා තරගාවලියට ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමත් එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.