Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අකිල ධනංජය සාර්ථක පුනරාගමනයක

අකිල ධනංජය සාර්ථක පුනරාගමනයක

editorial - 2019 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)

පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කිරීමෙන් මාස 9 කට පසුව සහභාගි වූ පළමු වැනි ටෙස්ට් තරගයේදීම විශිෂ්ට පන්දු යැවීමක යෙදුණු අකිල ධනංජය, කඩුලු 5 ක් දවාගැනීම නිසා ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී නවසීලන්ත කණ්ඩායම තරමක් දුරට පාලනය කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ පළමු දිනය වූ අද (14 වැනිදා) පස්වරු 3.40 ට පමණ ක්‍රීඩාංගණයට කඩාවැදුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 203 ක් ලබා සිටියේය.

ලකුණු 71 කට කඩුලු 3 ක් බිඳ වැටුණ නමුත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ රොස් ටේලර් සහ හෙන්රි නිකොල්ස් දිවා ආහාරයෙන් පසුව නවසීලන්ත ඉනිම පිළිසකර කළහ. එහෙත් තේ පානයට ඕවර දෙකක් තිබියදී යළිත් වරක් ක්‍රියාත්මක වූ අකිල ධනංජය පන්දු 6 ක් ඇතුළතදී පිතිකරුවන් දෙදෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවීය.  

කෙසේ වෙතත් වර්ෂාව නිසා ක්‍රීඩාව නතර කිරීමට පෙර හැකි තරම ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගැනීමට යුහුසුළු වූ රොස් ටේලර් තරගය නතර කරන විට නොදැවී ලකුණු 86 ක් ලබා සිටියේය. බිඳ වැටුණු කඩුලු 5 ම දවාගන්නා ලද්දේ අකිල ධනංජය විසිනි.

කඩුලු දවාගැනීම සඳහා ගුග්ලි සහ පා දඟ පන්දු යොදාගන්නා අකිල ධනංජය වෙතින් කේන් විලියම්සන්ට ලැබුණේ විශිෂ්ට පිට දඟ පන්දුවකි. පිට ඉන්නත් පා ඉන්නත් අතරේ පතිත වූ පන්දුව මිඞ් විකට් කලාපය වෙත තල්ලු කිරීමට විලියම්සන් ගත් උත්සාහයේදී පිත්තේ ඉහළ වැදුණු පන්දුව ෂෝට් මිඞ් විකට්හි සිටි දිමුත් කරුණාරත්නගේ දෑත් අතර සැඟවී ගියේය.

දිවා ආහාරයෙන් අනතුරුව විනාඩි 108 ක් පුරා ලකුණු 100 ක් එකතු කිරීමෙන් පසු රොස් ටේලර් සහ හෙන්රි නිකොල්ස් දෙදෙනා අතර පැවැති සම්බන්ධතාව බිඳවැටුණේ නිකොල්ස් ගැසූ ස්වීප් පහරක් වැරදී යාමෙනි. නිකොල්ස් කඩුල්ල මුවා කළේ යයි විනිසුරුවරයා දුන් තීරණය විතීවි ක්‍රමවේදයට යොමු කළ නමුත් විනිසුරුවරයා නිවැරදි විය.

එංගලන්ත පිලට එරෙහිව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවැති තරගාවලියේදී පන්දුව දමා ගැසීමේ චෝදනාවට ලක්වූ අකිල ධනංජය දිවා ආහාරයට පෙර පන්දු 12 ක් ඇතුළතදී කඩුලු 3 ක් දවාගත් අතර තේ පානයට පොරතුව දවාගත් කඩුලු දෙක අතර පරතරය පන්දු 6 කි.

තරගයට පෙර දිනය සම්පූර්ණයෙන්ම වර්ෂාවට සේදී ගියද අද උදෑසන සිට පැවැති ආලෝකය නිසා පෙරවරු 10.00 ටම තරගය ආරම්භ කළ හැකිවිය. කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක කේන් විලියම්සන්, කිසිම පැකිළීමකින් තොරව ලකුණු රැස්කිරීම තෝරාගත්තේ ගාල්ල තණතීරුවේදී සිව්වැනි ඉනිමට මුහුණ නොදීමේ අරමුණ ඇතිවය. පැය එක හමාරකට ආසන්න වැඩි සිය කඩුලු ආරක්‍ෂා කරගත් ආරම්භක පිතිකරුවන් වූ ජීට් රාවල් (33) සහ ටොම් ලෙතම් (30) නායක විලියම්සන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට සමත් වූ නමුත් ලේතම් පිටියෙන් ඉවත් කරගත් අකිල ධනංජය විනාඩි 16 ක් ඇතුළත තරගයේ තත්ත්වය කණපිට පෙරළීය.  

..

ඡායාරූප - චතුර එස්. කොඩිකාර


අදහස් (0)

අකිල ධනංජය සාර්ථක පුනරාගමනයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.