Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අපරාජිත වාර්තාව රැකගැනීමට අවස්ථාවක්

අපරාජිත වාර්තාව රැකගැනීමට අවස්ථාවක්

editorial - 2019 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



ශ්‍රී ලංකා අතීත ක්‍රිකට් විරුවෝ ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ බංග්ලාදේශයට එරෙහිව රැකගෙන සිටින අපරාජිත වාර්තාව ආරක්‍ෂා කරගැනීමට දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හෙට (11) විශේෂ අවස්ථාවක් හිමිවේ.   

12 වැනි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බි්‍රස්ටල්හිදී බංග්ලාදේශයට එරෙහිව හෙට (11) පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාවට පැති කීපයකින් වැදගත් වී තිබේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ලෝක කුසලාන තරගාවලිවලදී මේ දක්වා අවස්ථා තුනකදී මුණගැසී ඇති අතර එම අවස්ථා තුනේදීම ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ලබා තිබේ.

බංග්ලාදේශය 1999 වසරේ පැවැති එංගලන්තයේදී පැවැති 7 වැනි ලෝක කුසලාන තරගාවලියේ සිට ලෝක කුසලාන තරගාවලියට එක්විය. ශ්‍රී ලංකාව 2003 වසරේ කඩුලු 10 කින් ද, 2007 වසරේ කඩුලු 6කින් ද, 2015 වසරේ ලකුණු 92 කින් ද, බංග්ලාදේශය පරාජය කර තිබේ.

ලෝක කුසලාන කීර්තිය රැකගැනීම මෙන්ම මෙවර ලෝක කුසලාන තරගාවලියේ සාර්ථකව ඉදිරියට යෑමට නම් මෙම තරගයේ ජයග්‍රහණය වඩාත් වැදගත් වී තිබේ. ශ්‍රී ලංකාවට මෙම තරගයෙන් පසුව ප්‍රබල කණ්ඩායම් 5කට එරෙහිව තරග කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව මේ වනවිට තරග 3 කට සහභාගි වී ඇෆ්ගනිස්තානයට එරෙහිව පමණක් ජයලබා ප්‍රසාද ලකුණු 3ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ 5වැනි ස්ථානයේ පසුවෙයි.

බංග්ලාදේශය තරග තුනේදී ප්‍රබල දකුණු අප්‍රිකානු පිල පරාජය කරමින් ප්‍රසාද ලකුණු 2ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ 6වැනි ස්ථානයේ පසුවෙයි. බංග්ලාදේශය මේ දක්වා සහභාගි වූ තරග තුනේදීම පිතිකරු අංශයෙන් සාර්ථකත්වයක් ප්‍රදර්ශනය කර තිබේ.  

ශ්‍රී ලංකාව 2018 වසරේ බංග්ලාදේශයට එරෙහිව එක්දින තරග 4කට සහභාගි වී තරග 2ක් ජයලබා තරග 2ක් පරාජයට පත්ව තිබේ.

දෙරට අතර අවසන් එක්දින තරගය පසුගිය වසරේ (2018) සැප්තැම්බර් මස 15 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කරමින් ලකුණු 137 කින් පරාජයට පත්විය.

එම තරගයේදී බංග්ලාදේශය නියෝජනය කළ සියලු ක්‍රීඩකයන් හෙට (11) පැවැත්වෙන තරගයට ක්‍රීඩාකරන සංචිතයට ඇතුළත්ව සිටීම වඩාත් තීරණාත්මක වී තිබේ.

එම තරගයේදී ලකුණු 144ක් රැස්කළ මුෂ්ෆිකුර් රහීම් මෙම ලෝක කුසලාන තරගාවලියේදී ලකුණු අතර සිටීම විශාල අභියෝගයක් වීමට ඉඩ නැතුවා නොවේ.

ශ්‍රී ලංකාවෙන් එම තරගයට සහභාගි වූ ක්‍රීඩකයන් 7දෙනකු මෙම තරගයට සහභාගි වන අතර කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා ඇතුළත් වෙති.

පාකිස්තානයට එරෙහිව තරගය වර්ෂාව හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ අතර එම තරගයේදී වේගපන්දු යවන සුරංග ලක්මාල්ගේ ස්ථානයට දකුණතින් පා දඟ පන්දු යවන ජීවන් මෙන්ඩිස් කැඳවීමට සූදානමින් සිටියේය.

නුවන් ප්‍රදීප් තුවාල ලැබීම නිසා ලක්මාල් හෙට (11) තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති අතර ප්‍රදීප්ගේ ස්ථානයට ජීවන් කැඳවීමට ඉඩ තිබේ.

බංග්ලාදේශය තෙවැනි තරගයේදී එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කළ 11 දෙනාම මෙම තරගයට ද ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.  

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර 1986 වසරේ සිට මේ දක්වා එක්දින තරග 45 ක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව එහිදී තරග 36 ක් ජය ලබමින් 83% ක සාර්ථකත්වය ලබා තිබේ. 

ශ්‍රී ලංකා සංචිතය:
දිමුත් කරුණාරත්න (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, තිසර පෙරේරා, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩසේ සහ ජීවන් මෙන්ඩිස්

බංග්ලාදේශ සංචිතය:
මෂ්රාෆී මොර්ටසා (නායක), තමීම් ඉක්බාල්, ලිටන් දාස්, සකීබ් අල් හසන්, මුෂ්ෆිකුර් රහීම්, මොහොමඞ් මිතුන්, සෞම්‍ය සාකර්, මහුමුදුල්ලා රියාද්, සබීර් රහමන්, මෙහෙදි හසන්, රුබෙල් හුසේන්, මුස්ටෆීෂූර් රහමන්, අබූ ජායිඞ්, මොහොමඞ් සයිෆූඩීන් සහ මොසඩික් හුසේන්.


- 048


අදහස් (0)

අපරාජිත වාර්තාව රැකගැනීමට අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.