Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් දූෂණයේ කරුණු 3 කට සොයිසා වැරදිකරු

ක්‍රිකට් දූෂණයේ කරුණු 3 කට සොයිසා වැරදිකරු

දමින්ද විජේසූරිය - 2020 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ කරුණු 3 ක් සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයකු මෙන්ම ක්‍රිකට් පුහුණුකරුවකුද වන නුවන් සොයිසා වැරදිකරු වී තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් විසින් කරන ලද නඩු විභාගයකින් අනතුරුව කරුණු 3 ක් සම්බන්ධයෙන් ඔහු වැරදිකරු කර ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 30 කට ක්‍රීඩා කර ඇති නුවන් සොයිසා ඒවායේදී කඩුලු 64 ක් දවාගෙන තිබේ. එක්දින අන්තර්ජාතික තරග 95 කදී සොයිසා විසින් දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 108 කි.

නුවන් සොයිසාට එරෙහිව වසර 2018 දී දූෂණ විරෝධී චෝදනා එල්ල විය. තමන්ට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස සොයිසා ඉල්ලා සිටි අතර ඔහුට එල්ල වූ සියලු චෝදනාවලට සොයිසා වැරදිකරු වී තිබේ.

මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති දහයයි-10 තරගාවලියකදීත් කොන්දේසි 4 ක් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය (ඊසීබී) වෙනුවෙන් සොයිසාට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් චෝදනා ගොනු කර තිබේ. එහි විමර්ශන කටයුතු මේ වන විටත් අඛණ්ඩව සිදු වෙමින් පවතී.

මේ වන විටත් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් කිසිදු කාර්යයකට සම්බන්ධ විය නොහැකි පරිදි සොයිසාට තහනමක් පනවා තිබෙන අතර ඔහුට පැනවෙන දඩ හෝ දඬුවම් සම්බන්ධයෙන් ඉදිරියේදී නිවේදනය කෙරෙනු ඇ.ත.
 
සොයිසා වැරදිකරු වී ඇති චෝදනා පහත දැක්වේ.

2.1.1 වන වගන්තිය -
තරඟයක ප්‍රතිඵලය,  ප්‍රගතිය, ගලා යාම හෝ වෙනත් අංශ නුසුදුසු ලෙස වෙනස් කිරීමට හෝ සැලසුම් කිරීමට හෝ වෙනත් ආකාරයකින් බලපෑම් කිරීමට එකඟතාවයකට හෝ උත්සාහයකට පක්ෂ වීම.

2.1.4 වගන්තිය -
2.1 වන වගන්තිය උල්ලංඝණය කිරීම සඳහා දායකත්වය දක්වන ලෙස ඕනෑම අයකුගෙන් සෘජුව හෝ වක්‍රව ඉල්ලීම, පොළඹවා ගැනීම, උපදෙස් දීම, ඒත්තු ගැන්වීම, දිරිගැන්වීම හෝ හිතාමතාම පහසුකම් සැපයීම.

2.4.4 වන වගන්තිය -
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ දූෂිත හැසිරීම් වල යෙදීමට ලැබුණු ඕනෑම ප්‍රවේශයක් හෝ ආරාධනා පිළිබඳ සම්පූර්ණ තොරතුරු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විරෝධී අංශය වෙත අනාවරණය කිරීමට අපොහොසත් වීම.

පුස්තකාල ඡායාරූපය - ළහිරු හර්ෂණ

 


අදහස් (0)

ක්‍රිකට් දූෂණයේ කරුණු 3 කට සොයිසා වැරදිකරු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.