Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යුවරාජ් සමුගැනීම ප්‍රකාශ කරයි

යුවරාජ් සමුගැනීම ප්‍රකාශ කරයි

editorial - 2019 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තමා ජාත්‍යන්තර තරග බිමෙන් සහ අයි.පී.එල්. තරග බිමෙන් සමුගන්නා බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක යුවරාජ් සිං අද (10 වැනිදා) මධ්‍ය හමුවේ පැවසීය. මේ වන විට 37 වැනි වියේ පසුවන යුවරාජ් ටෙස්ට් තරග 40 කදී, එක්දින ජාත්‍යන්තර තරග 304 කදී සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 58 කදී ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා කර තිබේ.

2011 වසරේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ වීරයා බවට පත්වූ යුවරාජ්, 2007 වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදීද කැපී පෙනෙන දස්කම් දැක්වීය. වමත් මැද පෙළ පිතිකරුවකු වන ඔහු එම තරගාවලියේ එංගලන්තයට එරෙහිව පැවැති තරගයකදී ස්ටුවට් බ්‍රෝඩ්ගේ ඕවරයක පන්දු 6 ටම පිට පිට හයේ පහර 6 ක් එල්ල කරමින් ලෝක වාර්තාවක්ද පිහිටුවීය.

වරෙක (2001 වසරේදී) පෙනහළු පිළිකාවකින් පෙළුණ යුවරාජ්, ඊට ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව යළිත් ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තරම් වාසනාවන්ත විය. එහෙත් 2017 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ එක්දින තරගය ඔහු සහභාගි වූ අවසන් ජාත්‍යන්තර තරගය විය. ඉන් අනතුරුව ඔහුට නැවතත් ඉන්දීය කණ්ඩායමට කැඳවීමක් නොලැබිණ.

එක්දින තරග බිමේදී ශතක 14 ක් සහ අර්ධ ශතක 52 ක් සමගින් ලකුණු 8,701 ක් රැස්කරගෙන ඇති යුවරාජ්, එහිදී බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 111 කි. ටෙස්ට් තරග බිමේදී ශතක 3 ක් සහ අර්ධ ශතක 11 ක් සමගින් ලකුණු 1900 ක්ද, විස්සයි20 තරග බිමේදී අර්ධ ශතක 8 ක් සමග ලකුණු 1177 ක්ද රැස්කරගෙන ඇති යුවරාජ්, වමතින් දඟ පන්දු යවමින් ටෙස්ට් කඩුලු 9 ක් සහ විස්සයි20 කඩුලු 28 ක් දවාගැනීමටද සමත්වී ඇත.

වසර ගණනාවක් පුරා අයි.පී.එල්. තරගාවලියේදී කිංග්ස් XI කණ්ඩායම මෙහෙයවූ යුවරාජ්, මෙවර (2019) අයි.පී.එල්. තරගාවලියේ ශූරතාව දිනාගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සාමාජිකයෙක්ද විය. කෙසේ වුවත් මෙවර තරගාවලිය තමාගේ අවසන් අයි.පී.එල්. තරගාවලිය බවද ඔහු එය නිමා වීමෙන් අනතුරුව පැවසීය.

“ක්‍රිකට් ක්‍රීඩාව තමයි මට මේ හැම දෙයක්ම දුන්නේ. අද මම ඔබලා ඉදිරියෙ ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩාව නිසයි. මේ ක්‍රීඩාවෙදි මට හුගක් අයගෙ ආදරය ලැබුණා. නමුත් මට හිතෙනවා දැන් සමුගන්න කාලය ඇවිත් කියලා. දැන් මට පුලුවන් විනෝදාත්මක ක්‍රිකට් තරග වලට සහභාග වෙන්න. මම යනවා මගේ ජීවිතේ විඳින්න.” යැයි සිය සමුගැනීම ප්‍රකාශයට පත් කරමින් යුවරාජ් කියා සිටියේය.

 

-036


අදහස් (0)

යුවරාජ් සමුගැනීම ප්‍රකාශ කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.