Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යුදහමුදාව - රාගම - එන්.සී.සී - බදුරලිය අ.පූර්ව වටයට

යුදහමුදාව - රාගම - එන්.සී.සී - බදුරලිය අ.පූර්ව වටයට

editorial - 2021 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

---------------------------
රොෂාන් ගුණරත්න
---------------------------

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සීමිත ඕවර (ඕවර 50) ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට යුදහමුදාව, රාගම, එන්.සී.සී සහ බදුරලිය කණ්ඩායම් සමත්වූහ.

අද (7 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදී එස්.එස්.සී පිල ලකුණු 17 කින් පරාජය කිරීමට යුදහමුදා පිලත්, නාවික හමුදා පිල ලකුණු 167 කින් පරාජය කිරීමට එන්.සී.සී පිලත්, ද්‍රවිඩ සංගම් පිල කඩුලු 6 කින් පරාජය කිරීමට රාගම පිලත්, මූවර්ස් පිල කඩුලු 7 කින් පරාජය කිරීමට බදුරලිය පිලත් සමත්විය.

අවසන් පූර්ව තරග 9 වැනිදා සී.සී.සී සහ එන්.සී.සී ක්‍රීඩාංගණවලදීත්, අවසන් මහා තරගය 11 වැනිදා එස්.එස්.සී ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතව ඇත.

අද පැවැති අවසන් පූර්ව වටයේ තරග වලදී වාර්තා වූ එකම ශතකයට හිමිකම් කීමට එන්.සී.සී පිලේ කමිල් මිශාර සමත්විය. පන්දු 114 කදී වාර්තා වූ ඔහුගේ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 47 කදී හයේ පහර සහ හතරේ පහර 6 බැගින් එල්ල කරමින් ශතක පෙනි පෙනී (94) එන්.සී.සී පිලේ ඇන්ජලෝ පෙරේරා දැවී ගිය අතර පන්දු 113 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 91 කට දැවී ගිය රාගම පිලේ ජනිත් ලියනගේ ශතකය පෙනී පෙනී අද දිනයේ දැවී ගිය අනෙක් ක්‍රීඩකයා වන්නේය.

බදුරලිය පිලේ සඳුන් වීරක්කොඩි (70), ද්‍රවිඩ සංගම් පිලේ සධීර සමරවික්‍රම (64), රාගම පිලේ උදාර ජයසුන්දර (නොදැවී 86), යුදහමුදා පිලේ දුෂාන් විමුක්ති (නොදැවී 55), එස්.එස්.සී පිලේ හිමේෂ් රාමනායක (54) අර්ධ ශතක ලබාගනිමින් අවසන් පූර්ව වටයේදී පිතෙන් දස්කම් දැක්වූහ.

බදුරලිය පිලේ තිලකරත්න සම්පත් සහ නාවික හමුදා පිලේ පූර්ණ චාරුක කඩුලු 4 බැගින් දවාගනිමින් අවසන් පූර්ව වටයේදී පන්දුවෙන් දස්කම් දැක්වූහ.

අර්ධ අවසන් පූර්ව වටයේ තරග අවසන් වනවිට රාගම පිලේ ජනිත් ලියනගේ මේ වනවිට තරගාවලියේදී වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට සමත්විය. තරග 6 කට පමණක් ක්‍රීඩාකර ඇති ජනිත් ලියනගේ ඉනිම 6 කදී ලකුණු 414 ක් ලබාගෙන ඇති අතර ඊට ශතකයක් සහ අර්ධ ශතක 3 ක් ඇතුළත් වේ. ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 138.00 කි. ශතකයක් සහ අර්ධ ශතක 3 ක් සමගින් තරග 7 කදී ලකුණු 389 ක් රැස්කර ඇති බදුරලිය පිලේ සඳුන් වීරක්කොඩි තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ පසුවන්නේය.

තරග 6 කදී කඩුලු 17 ක් දවාගෙන ඇති රාගම පිලේ බිනුර ප්‍රනාන්දු මෙවර තරගාවලියේදී මේ වනවිට වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා බවට පත්වී ඇත. පානදුර පිලට එරෙහිව ලකුණු 28 කට දවාගත් කඩුලු 6 මෙවර තරගාවලියේදී ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස වාර්තා වන්නේය. එස්.එස්.සී පිලේ ප්‍රභාත් ජයසූරිය කඩුලු 16 ක් දවාගනිමින් වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානය ගෙන ඇත.


අවසන් පූර්ව වටයේ තරග
පළමු තරගය - බදුරලිය සහ එන්.සී.සී කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
දෙවන තරගය - රාගම සහ යුදහමුදා කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී

 

බදුරලිය පිල කඩුලු 7 ක ජයක්
බදුරලිය සහ මූවර්ස් කණ්ඩායම් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
මූවර්ස් - ඕවර 41.3 කදී සියලුදෙනා දැවී 154
(දිනුක දිල්ෂාන් 24, කවිඳු කුලසේකර 21, මොහොමඩ් ෂමාස් 31, ජීවන් මෙන්ඩිස් 38, තිලකරත්න සම්පත් 26/4, නිමන්ද මදුශංක 20/2, අලංකාර අසංක 30/2)
බදුරලිය - ඕවර 25.5 කදී කඩුලු 3 ක් දැවි 157
(සඳුන් වීරක්කොඩි 70, දුනිත් ජයතුංග 20, මිලින්ද සිරිවර්ධන නොදැවී 34, සචිත්‍ර සේරසිංහ 57/3)


රාගම පිලට කඩුලු 6 ක ජයක්
ද්‍රවිඩ සංගමය සහ රාගම කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
ද්‍රවිඩ සංගමය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 255
(සධීර සමරවික්‍රම 64, යොහාන් මෙන්ඩිස් 75, රන්මිත් ජයසේන 20, රවිඳු ප්‍රනාන්දු 31, ඉසුරු උදාන 33, බිනුර ප්‍රනාන්දු 47/3, ශෂික දිල්ෂාන් 24/2, ඉෂාන් ජයරත්න 52/2)
රාගම - ඕවර 46 කදී කඩුලු 4 ක් දැවී 256
(සමින්ද ප්‍රනාන්දු 21, දිනෙත් තිමෝද්‍ය 33, ජනිත් ලියනගේ 91, උදාර ජයසුන්දර නොදැවී 86, ඉසුරු උදාන 37/2)


එන්.සී.සී පිලට ලකුණු 167 ක ජයක්
නාවික හමුදාව සහ එන්.සී.සී කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 337
(දිනෙත් ජයකොඩි 35, කමිල් මිෂාර 107, කවීන් බණ්ඩාර 46, ඇන්ජලෝ පෙරේරා 94, චතුරංග ද සිල්වා 25, පූර්ණ චාරුක 47/4, දිලංක අවඩ් 53/2)
නාවික හමුදාව - ඕවර 46 කදී සියලුදෙනා දැවී 170
(ජොහාන් ද සිල්වා 44, අරවින්ද අකුරුගොඩ 29, චමෝද් සඳරු 22, චාමික කරුණාරත්න 23/2, සහන් ආරච්චිගේ 25/2)


යුදහමුදා පිලට ලකුණු 17 ක ජයක්
යුදහමුදාව සහ එස්.එස්.සී කණ්ඩායම් අතර පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී
යුදහමුදාව - ඕවර 48.2 කදී සියලුදෙනා දැවී 198
(අසේල ගුණරත්න 22, තිසර පෙරේරා 32, දුෂාන් විමුක්ති නොදැවී 55, සමින්ද ලක්ෂාන් 41, ප්‍රභාත් ජයසූරිය 32/3, ලක්ෂිත මානසිංහ 20/2)
එස්.එස්.සී - ඕවර 47.1 කදී සියලුදෙනා දැවී 181
(අවිෂ්ක ප්‍රනාන්දු 32, ක්‍රිෂාන් සංජුල 33, හිමේෂ් රාමනායක 54, සුමින්ද ලක්ෂාන් 30/3, අසේල ගුණරත්න 46/3, සීකුගේ ප්‍රසන්න 38/2)

 


අදහස් (0)

යුදහමුදාව - රාගම - එන්.සී.සී - බදුරලිය අ.පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.