Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වෝනර් - ෆින්ච් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති

වෝනර් - ෆින්ච් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති

editorial - 2019 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය ලෙස ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර තරගය ටෝන්ටන්හිදී අද (12 වැනිදා) පැවැති තරගය ලකුණු 41 කින් ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත්විය. ඒ අනුව අද ලබාගත් ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු 6 ක් ලබාසිටින ඕස්ට්‍රේලියාව ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්විය.


‍ෙජයග්‍රහණය සඳහා ලකුණු 308 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානයට ඕවර 45.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 266 ක් පමණි.

ලකුණු 200 කට කඩුලු 7 ක් දැවී තිබියදී අටවැනි කඩුල්ල සඳහා එක්වූ සර්ෆ්‍රාස් අහ්මඞ් සහ වහබ් රියාස් පන්දු 69 කදී ලකුණු 64 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ජයග්‍රහණයේ බලාපොරොත්තු නැවතත් දල්වන්නට සමත්වූහ. නමුත් මිචෙල් ස්ටාර්ක්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරී අතට උඩපන්දුවක් දුන් වහාබ් රියාස්ට පිටියෙන් ඉවත්වීමට සිදුවිය. පන්දු 39 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 45 ක් රැස්කිරීමට ඔහු සමත්විය.

වහාබ් රියාස් දවාගත් මිචෙල් ස්ටාර්ක් එම ඕවරයේදීම නවවැනි කඩුල්ල ලෙස මොහොමඞ් අමීර්ද දවාගනිමින් ජයග්‍රහණය දෙසට ඕස්ට්‍රේලියානු කණ්ඩායම රැගෙන යාමට සමත්විය.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ සර්ෆ්‍රාස් අහ්මඞ් අනෙක් අන්තයේ කඩුලු එකින් එක බිඳ වැටුණද තම අන්තය ආරක්‍ෂා කරගනිමින් ජයග්‍රහණය කරා තම කණ්ඩායම රැගෙන යාමට උත්සහ කළද ඉතා අවසනාවන්ත දුවද්දී දැවීයාමකට හසුවිය. දැවීයනවිට පන්දු 48 කට මුහුණදී සිටි සර්ෆ්‍රාස් අහ්මඞ් හතරේ පහරක් සමගින් ලකුණු 40 ක් රැස්කර සිටියේය.

පළමු කඩුල්ල ලෙස ෆකාර් සමාන් ලකුණු නොළඹාම පිටියෙන් ඉවත්වන විට ඉමාම් උල් හක් සමගින් එක්වූ බාබර් අසාම් දෙවැනි කඩුල් සඳහා පන්දු 52 කදී ලකුණු 52 ක් සම්බන්ධතාවයක් ගොඩනැගීය. පන්දු 28 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 30 ක් රැස්කර සිටි බාබර් අසාම්, නේතන් කූල්ටර්නයිල්ගේ පන්දුවක් හමුවේ කේන් රිචඞ්සන් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.

සිය එක්දින දිවියේ 6 වැනි අර්ධ ශතකය පන්දු 73 කදී ලබාගත් ඉමාම් උල් හක් දැවීයන විට පන්දු 75 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 53 ක් රැස්කර සිටියේය. මොහොමඞ් හෆීස් සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 86 කදී ලකුණු 80 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දමාදීමට සමත්විය.

නිත්‍ය පන්දු යවන්නන් සිටියද නව සැලැස්මකට අනුව පන්දුව අතට ගත් ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් ඉන් නිසි ප්‍රයෝජන ලබාගනිමින් පිටියේ ස්ථාවර වෙමින් සිටි මොහොමඞ් හෆීස් දවාගැනීමට සමත්විය. පන්දු 49 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 46 ක් රැස්කර සිටි හෆීස් දැවීයාමත් සමගින් පාකිස්තාන ඉනිම කඩා වැටීම ආරම්භවිය.

මොහොමඞ් හෆීස්ගේ දැවීයාමෙන් පසුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශොයිබ් මලික්ට පිටියේ ස්ථාවර වීමට අවස්ථාවක් ලබානොදුන් පැට්‍රික් කමින්ස්, ලකුණු ලබාගැනීමට පෙරම ඔහුව පිටියෙන් ඉවත් කිරීමට සමත්විය.

පසුපෙළ පිතිකරුවකුවූ හසන් අලී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් ජයග්‍රාහී ඉලක්කය හඹායෑමට උත්සහ කළද ඔහුගේ උත්සහය වලකාලීමට කේන් රිචඞ්සන් සමත්විය. පන්දු 15 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 32 ක් රැස්කර සිටියදී උස්මාන් කවාජා අතට උඩපන්දුවක් දෙමින් හසන් අලී දැවී ගියේය.

පැට්‍රික් කමින්ස් කඩුලු 3 ක් ද සහ කේන් රිචඞ්සන් සහ මිචෙල් ස්ටාර්ක් කඩුලු 2 බැගින් දවාගනිමින් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

ඬේවිඞ් වෝනර්ගේ (107) ශතකයත් ඒරන් ෆින්ච්ගේ (82) අර්ධ ශතකයත් හමුවේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ටේ්‍රලියාව ඕවර 49 ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 307 ක් රැස්කිරීමට සමත්විය.

පළමු කඩුල්ල සඳහා පන්දු 133 කදී ලකුණු 146 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් සාර්ථක ආරම්භයක් ලබාදුන් ඬේවිඞ් වෝනර් සහ ඒරන් ෆින්ච් ඕස්ට්‍රේලියාවට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අවශ්‍ය අඩිතාලම දමාදුන්හ.

ඉනිම ආරම්භයේ සිටම වේගයෙන් ලකුණු රැස්කිරීමේ නිරතවූ ඬේවිඞ් වෝනර් පන්දු 102 කදී සිය 15 වැනි එක්දින ශතකය වාර්තා කරමින් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්විය. ශහීන් අෆ්රිඩි යවන ලද පන්දුවකට ගැසූ පහරකින් ඉහළ නැගි පන්දුව ඉමාම් උල් හක් රැකගැනීමත් සමගින් වෝනර්ගේ ඉනිම ලකුණු 107 කට අවසන් විය. පන්දු 111 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි වෝනර්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 11 කින් අලංකාර විය.

ඇෆ්ඝනිස්තානයට (නොදැවී 89) සහ ඉන්දියාවට (56) එරෙහිව අර්ධ ශතක ලබාගත් ඬේවිඞ් වෝනර් පාකිස්තානයට එරෙහිව අද ලබාගත් ශතකයත් සමගින් තරග 4 කදී මුළු ලකුණු 255 ක් රැස්කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ පසුවන්නේය. කොදෙව් පිලට එරෙහිව ඔහුට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 3 ක් පමණි.

මෙවර ලෝක කුසාලන තරගාවලියේ දෙවැනි අර්ධ ශතකය පන්දු 63 කදී ලබාගත් ඒරන් ෆින්ච් ලකුණු 82 ක් රැස්කර සිටියදී ඕස්ට්‍රේලියානු පළමු කඩුල්ල ලෙස දවාගැනීමට මොහොමඞ් අමීර් සමත්විය. හයේ පහර 4 කින් සහ හතරේ පහර 6 කින් සිය ඉනිම සැරසූ ෆින්ච් දැවීයන විට පන්දු 84 කට මුහුණදී සිටියේය.

ඬේවිඞ් වෝනර් සහ ඒරන් ෆින්ච් පාකිස්තානු පන්දු යවන්නන්ට එරෙහිව සාර්ථක පිතිහරඹයක නිරත වුවද ඕස්ට්‍රේලියානු මැදපෙළ සහ පසුපෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට අවස්ථාවක් හිමිනොවූහ.

සෙසු පන්දු යවන්නන්ට පහර පිට පහර වදින විය මනා සංයමයකින් යුතුව පන්දු යැවූ මොහොමඞ් අමීර් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත්විය. සිය ඕවර 10 ලකුණු 30 කට සිමාකරමින් නිලකුණු ඕවර 2 ක් සමගින් කඩුලු 5 ක් දවාගැනීමට අමීර් සමත්විය. එක්දින තරගයකදී අමීර් විසින් කඩුලු 5 ක් දවාගත් පළමු අවස්ථාව ලෙසද වාර්තා විය.

ඕවර 44 ක් අවසානයේ කඩුලු 5 කට ලකුණු 286 ක් රැස්කර ගනිමින් ප්‍රබල ස්ථානයක සිටි ඕස්ට්‍රේලියානුවන්ගේ අවසන් කඩුලු 5 ලකුණු 21 ක් තුළ දවාගැනීමට පාකිස්තාන වේගපන්දු යවන්නෝ සමත්වූහ. එම කඩුලු 5 න් 3 ක් මොහොමඞ් අමීර් සතුවූ අතර අනෙක් කඩුලු 2 වහබ් රියාස් සහ හසන් අලී අතර බෙදී ගියහ.

කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩයමේ නායක සර්ෆරාස් අහමඞ් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.

 

...


අදහස් (0)

වෝනර් - ෆින්ච් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.