Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පෙරළුණු පිට හොඳයි කියන අකිල

පෙරළුණු පිට හොඳයි කියන අකිල

දමින්ද විජේසූරිය - 2019 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුඩා කාලයේ සිට හුරු පුරුදු වූ පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කිරීමෙන් පසුව අලුත් ඉරියව්වකින් පන්දු යැවීම පහසු කාරියක් නොවේ. ලෝකයේ සිටි නමගිය පන්දු යවන්නෝ සිය පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කිරීමෙන් පසු මහත් අපහසුතාවන්ට මුහුණ දුන් අතර කඩුලු දවාගැනීමේ විකල්ප අඩුවීම හේතුවෙන් ඇතැමෙක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ගියහ. එහෙත් අකිල ධනංජය සිය පන්දු යැවීමේ ඉරියවව වෙනස් කිරීම සම්බන්ධයෙන් සුභවාදීව සිතයි.

“මගේ පන්දු යැවීමේ ඉරියව්වේ ලොකු වෙනසක් නෑ. පොඩි වෙනස් කමක් තමයි කළේ...පියල් (විජේතුංග) සර් එක්ක මම ගොඩාක් වැඩ කළා. පියල් සර් මට ගොඩාක් උදව් කළා...ඒ නිසා පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කළායින් පස්සේ මේ පන්දු යැවීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා”  

“මම දැන් පැරණි පන්දු යැවීමේ ඉරියව්ව සම්පූර්ණයෙන්ම අමතක කරලයි ඉන්නේ....අලුත් එකේ ලොකු වෙනසක් නැති වුණත් මට අවශ්‍ය දේවල් සේරම වෙනවා...ඒ නිසා මම අලුත් ඉරියව්වත් එක්ක දිගටම යනවා” යයි පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කිරීමෙන් මාස 9 කට පසුව පළමු ටෙස්ට් තරගයට සහභාගි වූ අකිල ධනංජය ලකුණු 57 කට කඩුලු 5 ක් දවාගැනීමෙන් පසුව පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම වේග පන්දු යවන්නන් දෙදෙනකු සමග ක්‍රීඩා කරන නමුත් දිවා ආහාරයට පෙර වේග පන්දු යවන්නන් දෙදෙනාම යැවූයේ ඕවර 12 ක් පමණි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සාමාන්‍ය සම්මතයට පිටුපා යමින් නවසීලන්ත ඉනිමේ 8 වැනි ඕවරයේදීම අකිල ධනංජය අතට පන්දුව බාර කෙරිණ. අකිල පන්දු යැවීම ආරම්භ කළ ගාලු කොටු පවුර අන්තයෙන් එතරම් දඟ කැවීමක් නොලද හෙයින් ඕවර දෙකකට පසුව ඔහු අන්තය මාරු කරමින් සාර්ථක ප්‍රතිඵල ලබාගත්තේය.

දිවා ආහාරයට පෙර තණතීරුවෙන් ඔහුට හොඳ සහයෝගයක් ලැබුණත් අව්ව වැඩිවීමත් එක්කම පන්දුවේ දඟ කැවීම තරමක් අඩු විය. එයින් ප්‍රයෝජන ගත් රොස් ටේලර් සහ හෙන්රි නිකොල්ස් ශතක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් තේ පානයට ඕවර දෙකකට පෙරදී අකිල නැවත වරක් ක්‍රියාත්මක විය.

අකිල නිතරම යවන පන්දුව පිට දඟ පන්දුව වූවත් කඩුලු දවාගැනීමට අවශ්‍ය වූ විටෙක ‘ගුග්ලිය’ සහ ‘පා දඟ පන්දුව’ භාවිතා කරයි. එහෙත් අද දිනයේදී ඔහුගෙන් නවසීලන්ත නායකයාට ලැබුණේ අති විශිෂ්ට පිට දඟ පන්දුවකි.

කේන් විලියම්සන් අපේක්‍ෂා කළාට වඩා තරමක් ඉදිරියෙන් පතිත වූ පන්දුව ඉපිළීමත්  සමග කේන්ගේ පිත්තේ ඉහළ කොටසේ වැදී දිමුත්ගේ දෑත සොයා ඉගිළිණ.
 
මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම උපක්‍රමයක් වූයේ හතරේ පහර පාලනය කිරීමයි. අකිල ධනංජය ඊට හොඳින් ප්‍රතිචාර දැක්වූයේය. අද දිනයේ යැවුණු පන්දු 408 න් හතරේ සීමාවට ගියේ පන්දු 15 ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි පළපුරුදුම දඟ පන්දු යවන්නන් වන රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා යන දෙදෙනාම නොමැතිව සිටියදීත්, තවත් නවක දඟ පන්දු යවන්නකු වන ලසිත් ඇඹුල්දෙණිය සමගින් එක්ව, අකිල ධනංජය ශ්‍රී ලංකා පන්දු යැවීමේ බර කරට ගෙන සිටී.

“රංගන අයියා හරි ඩිල්රුවන් අයියා හරි හිටියා නම් අපට මොනවා හරි දෙයක් අහගන්න තිබුණා...එත් දැන් මැද්දේ ඉන්නේ අපි විතරයි...ඒ නිසා අපි කතා කරලා කරන්න ඕනා හොඳම දේ කරනවා” යයිද අකිල පැවසීය.
 
ඡායාරූපය : චතුර එස්. කොඩිකාර

 


අදහස් (0)

පෙරළුණු පිට හොඳයි කියන අකිල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.