Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්ජාබය අවසන් පන්දුවේදී ජයගනී

පන්ජාබය අවසන් පන්දුවේදී ජයගනී

editorial - 2020 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

අවසන් පන්දුවේදී ලෝන් ඕන් කළාපයට ඉහළින් නිකලස් පූර්න් ගැසූ හයේ පහර හේතුවෙන් බැංගලෝර් ‍රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩයාමට එරෙහිව බ්‍රහස්පතින්දා (15 වැනිදා) පැවැති අයි.පී.එල්. තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සමත් විය.

ලකුණු 172 ක ඉලක්කයක් හඹාගිය පන්ජාබ් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවසන් ඕවරයේදී ලබාගැනීමට අවශ්‍ය වූයේ ලකුණු 2 ක් පමණි. එම ඕවරයට මුහුණ දුන්නේ ක්‍රිස් ගේල් වූවත් එම ඕවරයේ පළමු පන්දු හතර එක් ලකුණකට සීමා කිරීමට යුස්වේන්ද්‍ර චාහල් සමත් විය. පස්වැනි පන්දුවේදී ක්‍රිස් ගේල් දුවද්දී දැවී  ගිය බැවින් තරගය යළිත් කණ්ඩායම් දෙකටම විවෘත විය.

නව පිතිකරුවා‍ ලෙස පිටියට පිවිසි  නිකලස් පූරන් තමා මුහුණදුන් පළමු පන්දුවම ලෝන් ඕන් කළාපයට ඉහළින් පන්දුව හතරේ සීමාවෙන් එපිටට යවමින් පන්ජාබ් කණ්ඩායම ජයග්‍රහණය කරා ‍රැගෙන ගියේය. මෙවර තරගාවලියේදී සිය පළමු තරගයට සහභාගි වූ ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල් පන්දු 45 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 53 ක් රැස්කළේය.

මායන්ක් අගර්වාල් (45) සහ නායක ලොකේෂ් රාහුල් (‍නොදැවී 61) අතර පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී  පැවැති ලකුණු 78 ක සම්බන්ධතාව නිමාවට පත්වීමෙන් අනතුරුව රාහුල් සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 93 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ගේල් සමත් විය. වෙනදා ආරම්භක පිතිකරුවා ලෙසින් පිටියට පැමිණෙන ක්‍රිස් ගේල් මෙම තරගයේදී අංක 3 පිතිකරුවා විය.

පන්දු 49 කදී වාර්තා වූ රාහුල්ගේ අර්ධ ශතකයට හයේ පහර  5 ක් සහ හතරේ පහරක් ඇතුළත් විය. පන්දු 25 කට මුහුණදුන් අගර්වාල් හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසීය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක විරාට් කෝලි පන්දු 39 කදී ලකුණු 48 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි. ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් පන්දු 18 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 20 ක්ද, ශිවම් ඩූබේ පන්දු 19 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 23 ක්ද රැස්කිරීමට සමත් වූහ.

හත්වැනි සහ අටවැනි පිතිකරුවන් ලෙස පිටියට පිවිසි ක්‍රිස් මොරිස් (නොදැවී 25) සහ ඉසුරු උදාන (නොදැවී 10) එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 13 කදී ලකුණු 35 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් බැංගලෝර් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. මොරිස් පන්දු 8 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගද, උදාන පන්දු 5 කදී හයේ පහරක් සමගද ලකුණු රැස්කළහ.


බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස්  - ඕවර 20 කදී කඩුලු 6 කට 171
(ඒරන් ෆින්ච් 20, දෙව්දත් පඩික්කල් 18, විරාට් කෝලි 48, ශිවම් ඩූබේ 23, ක්‍රිස් මොරිස් ‍නොදැවී 25, මුරුගන් අෂ්වින් 23/2, මොහොමඩ් ශාමි 45/2)

කිංග්ස් XI පන්ජාබ්  - ඕවර 20 කදී කඩුලු 4 කට 177
(ලොකේෂ් රාහුල් නොදැවී 61, මායන්ක් අගර්වාල් 45, ක්‍රිස් ගේල් 53)

 

-036

(ඡායාරූප - අයි.පී.එල්. නිල වෙබ්අඩවිය අනුග්‍රහයෙනි)

 


අදහස් (0)

පන්ජාබය අවසන් පන්දුවේදී ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.