Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්තය 3-0 කින් ඉන්දියාව පරදවයි

නවසීලන්තය 3-0 කින් ඉන්දියාව පරදවයි

editorial - 2020 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීයාව සහ නවසීලන්තය අතර මවුන්ට් මැන්ගනුයිහි බේ ඕවල් ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමටද නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 297 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායම පන්දු 17 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් පන්දු 28 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 58 ක් රැස්කරමින් නවසීලන්ත ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.

ටොම් ලේතම් (නොදැවී 32) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 80 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ග්‍රෑන්ඞ්හෝම් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 34 කදී වාර්තා වූ ලේතම්ගේ ඉනිම හතරේ පහර 3 කින් සමන්විත විය.

ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ මාටින් ගප්ටිල් (66) සහ හෙන්රි නිකෝල්ස් (80) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 99 කදී ලකුණු 106 ක සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 46 කට මුහුණදුන් ගප්ටිල් හයේ පහර 4 කින් සහ හතරේ පහර 6 කින්ද, පන්දු 103 කට මුහුණදුන් නිකොල්ස් හතරේ පහර 9 කින්ද සිය අර්ධ ශතක සැරසූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකණු 296 ක් ලබාගත් අතර එහිදී සිය සිවුවැනි එක්දින ශතකය ලබාගත් ලොකේෂ් රාහුල් පන්දු 113 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 112 ක් රැස්කරමින් ඉන්දීය ඉනිමේ කොඳු නාරටිය බවට පත් විය.

මුලු ලකුණු සංඛ්‍යාව 62 ක් වන විට නායක විරාට් කෝලිද (9) සමගින් ඉන්දීය ඉනිමේ පළමු පිතිකරුවන් තිදෙනාම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.

කෙසේ වුවත් ශ්‍රෙයාස් අයියර් (62) සමග එක්ව සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 100 ක්ද, මනීෂ් පාණ්ඬේ (42) සමග එක්ව පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 107 ක්ද එක්කළ රාහුල් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 7 කට 296
(ප්‍රිත්වි ෂෝ 40, ශ්‍රෙයාස් අයියර් 62, ලොකේෂ් රාහුල් 112, මනීෂ් පාණ්ඬේ 42, හමීෂ් බෙනට් 64/4)

නවසීලන්තය - ඕවර 47.1 කදී කඩුලු 5 කට 300
(මාටින් ගප්ටිල් 66, හෙන්රි නිකෝල්ස් 80, කේන් විලියම්සන් 22, ටොම් ලේතම් නොදැවී 32, ජේම්ෂ් නීෂම් 19, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් නොදැවී 58, යුස්වේන්ද්‍ර චාහල් 47/3)

-036

 


අදහස් (0)

නවසීලන්තය 3-0 කින් ඉන්දියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.