Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම නතර කරයි

දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම නතර කරයි

දමින්ද විජේසූරිය - 2020 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය ආශ්‍රීතව ඉදිකිරීමට යෝජිත අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු වහාම අත්හිටුවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, හිටපු සහ වත්මන් ක්‍රිකට් නායකයන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සහ හිටපු සභාපතිවරුන් ඇතුළු පිරිසක් සමග ඊයේ (21 වැනිදා) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගනු ලැබ තිබේ.

ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයන් වන රොෂාන් මහානාම, සනත් ජයසූරිය, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරද වත්මන් විස්සයි-20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංගද මෙම සාකච්ඡාවට සහභාගි වූහ. ඔවුන්ට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයේ නිලධාරීන්, ක්‍රීඩා ඇමති ඩලස් අලහප්පෙරුම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල සහ හිටපු රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුද අගමැතිවරයා සමගින් පැවැති මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

ඇමරිකානු ඩොලර් මිලියන 30 ත් 40 ත් අතර ඇස්තමේන්තුගත වියදමකින් නරඹන්නන් 60,000 කට පමණ තරග නැරඹිය හැකි ක්‍රීඩාංගණයක් හෝමගම, දියගම ඉදිකිරීමට සැලසුම් කර තිබිණ. එම ක්‍රීඩාංගණයට අක්කර 28 ක ඉඩමක් පවරාගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව හෝමාගම ආසනයේ ආණ්ඩු පක්ෂයේ සංවිධායක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා පැවසීය.
 
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රටට දැඩි ආර්ථික හානි සිදුවී තිබියදී ඩොලර් මිලියන 40 ක් පමණ වියදමින් මෙවන් විශාල ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සම්බන්ධයෙන් බොහෝ විවේචන එල්ල විය. හිටපු නායක අර්ජුන රණතුංග මහතා කියා සිටියේ කොරෝනා වයිරසයෙන් ලොවම බැටකා ඇති මෙවන් මොහොතක ඩොලර් මිලියන 40 ක් වියදම් කරමින් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට යාම “මෝඩ වැඩක්” බවයි.

මෙම විවේචන වලට පිළිතුරු වශයෙන් හිටපු රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසා තිබුණේ ඉදිකිරීමට නියමිත හෝමගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, අන්තර්ජාතික ක්‍රිකට් සභාව පූර්ණ අරමුදල් සපයන ව්‍යාපෘතියක් බවයි.

එහෙත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් කළ විමසීමකදී එහි නිල ප්‍රකාශකයකු පැවසූවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩාංගණයක් සඳහා මුදල් ඉල්ලා නැති බවයි.

“එවැනි කිසිම ගිවිසුමක් නෑ”
“මේක අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිල ප්‍රකාශයක් ලෙසින් බාරගත හැකියි” යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මාධ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විද්යුත් ලිපියකින් පිළිතුරු සැපයීය.

මෙම ක්‍රීඩාංගණය ඉදිරිකිරීම සම්බන්ධයෙන් එකඟ නොවන රොෂාන් මහානාම මහතා පවසා තිබුණේ මේ වන විට ලොව බොහෝ රටවල දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘති පවා අත්හිටුවා තිබෙන බවයි.

“ශ්‍රී ලංකාවට ඇතිවෙන්න ජාත්‍යන්තර ක්‍රීඩා පිටි තියෙනවා. ඒවා අවුරුද්දේ වැඩි කාලයක් නිකම් වහලා දාලයි තියෙන්නේ”

“අපට කියන්න තියෙන්නේ මේ වෙලාවේ එවැනි නාස්තිකාර වැඩ නොකර, අපේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කරන්න හොඳ වැඩපිළිවෙලක් යොදන්න කියලයි” යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ හිටපු ජ්‍යෙෂ්ඨතම තරග තීරකවරයකු මෙන්ම ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයකුද වන රොෂාන් මහානාම මහතා පැවසීය.

මෙම ක්‍රීඩාංගණය ඉදිරිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිකුත් කරන ලද විශේෂ මාධ්‍ය නිවේදනයකින් කියැවුණේ එය පූර්ණ වශයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යාපෘතියක් බවයි. එහෙත් මෙම මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් මහේල ජයවර්ධන මෙසේ අදහස් දක්වා තිබිණ.
 
“මේ දැනට තියෙන ක්‍රීඩාංගණයත් එක්ක අපි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක් (2012 දී) සම්පූර්ණයෙන්ම පැවැත්වූවා. ඕවර 50 එක්දින ලෝක කුසලාන තරගාවලියක් (2011 දී - ඉන්දියාව සමග) සම සත්කාරකත්වය දුන්නා...”

“ඉතින් මේ ක්‍රීඩාංගණය හදන්න යන්නේ තවත් ලෝක කුසලාන තරගාවලියක් වෙනුවෙන් නම්, පළමුවෙන්ම ලෝක කුසලාන තරගාවලියට ඉල්ලුම් කරන්න. ඊට පස්සේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අරමුදල් අරගෙන වැඬේට අතගහන්න” යයි මහේල ජයවර්ධන සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබිණ.

 


අදහස් (0)

දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම නතර කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.