Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ත්‍රිකෝණයට මැදිකර එංගලන්තය කරකැවීම

ත්‍රිකෝණයට මැදිකර එංගලන්තය කරකැවීම

දමින්ද විජේසූරිය - 2021 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී ශ්‍රී ලංකාවේ ශක්තිය වන්නේ දඟ පන්දුවයි. එංගලන්ත පිලට එරෙහිව ගාල්ල ක්‍රීඩාංගණයේදී හෙට (14 වැනිදා) ආරම්භ වන පළමු වැනි ටෙස්ට් තරගයට පිවිසීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම තරමක් ශක්තිමත් වී ඇත්තේ සියලුම ආකාරයේ දඟ පන්දු යවන්නන් කණ්ඩායමට එක්වී සිටින බැවිනි.

සිය මංගල ටෙස්ට් තරගයේදීම සාර්ථක දස්කම් පෙන්වූ වනිඳු හසරංග, පලපුරුදු ඩිල්රුවන් පෙරේරා, දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන ලසිත් ඇඹුල්දෙණිය මෙන්ම චයිනමන් පන්දු යවන්නා වන ලක්ෂාන් සඳකැන්ද කණ්ඩායමට එක්වී සිටිති. පිතිකරුවන් වශයෙන් ජ්‍යෙෂ්ඨතමයා වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල්ද නැවතත් සුවය ලබා කණ්ඩායමට එක්ව සිටිති.

දකුණු අප්‍රිකානු සංචාරයේදී වනිඳු හසරංග හැරෙන්නට අනෙක් දඟ පන්දු යවන්නෝ තිදෙනාම ක්‍රීඩා නොකළහ. ඇන්ජලෝ මැතිව්ස් දකුණු අප්‍රිකාවට නොගිය අතර චන්දිමාල්ට දෙවැනි ටෙස්ට් තරගය මඟහැරිණ. එබැවින් මේ සියලු දෙනාම ටෙස්ට් පිටියේදී කඩුලු මෙන්ම ලකුණු ලබාගැනීමේ මහත් පිපාසයකින් පසුවෙති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ උපාය වන්නේ එකිනෙකට වෙනස් ආකාරයේ දඟ පන්දු යවන්නන් සිව් දෙනකු අතුරින් තිදෙනකු තෝරාගෙන, වේග පන්දු යවන්නන් දෙදෙනකුද සමගින් තරගයට යෙදවීමයි. එහෙත් වේග පන්දු යවන්නන් දෙදෙනාගෙන් අයකු ලෙස දසුන් ශානක කණ්ඩායමට එකතු වන්නේ නම් පිතිකරු ලයිස්තුවට අතිරේක සවියක් වනු ඇත.

ඊයේ සවස් වන විට එංගලන්ත නායක ජෝ රූට්ගේ ඔළුව තවදුරටත් අවුල් කර තිබුණේ ගාල්ල ක්‍රීඩාංගණයට එපිටින් ඈත මුහුදේ පෙනෙන වැසි වළාකුළු රොත්තයි. පසුගිය දිනවල ගාල්ලට දිගින් දිගටම වර්ෂාව පතිත වූ අතර වර්ෂාවෙන් තරගයට බාධා ඇතිවීම සම්බන්ධයෙන් දැනටමත් අනාවැකි පළවී තිබේ. එසේ වුවහොත් දඟ පන්දු යවන්නන් වන ඩොම් බෙස් සහ ජැක් ලීච් දෙදෙනා කණ්ඩායමේ සිටියදීත් ගාල්ල තණතීරුවේදී වේග පන්දු යවන්නන් කෙරේ විශ්වාසය තැබීමට එංගලන්ත නායකයාට සිදුවනු ඇත.

මෙම තත්ත්වයට මුහුණ දීමක් ලෙස ක්‍රිස් වෝක්ස් ඊයේ පන්දු යැවූ අතර ඔහු හොඳින් පන්දුව දෝලනය කරමින් සිටි අයුරු දක්නට තිබිණ. එහෙත් එංගලන්ත නායකයා ඉඟි පළකර තිබුණේ ක්‍රිස් වෝක්ස් ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම සඳහා තවමත් වේලාසන වැඩි බවයි.

“පවතින තත්ත්වයන් ගැන නැවත වරක් හිතන්න වෙනවා.. මොකද පසුගිය පැය 24 පුරාම මෙහේට හොඳටම වැස්සා.... ඒ හින්දා ආයෙමත් වතාවක් තණතීරුව දිහා හොඳින් බලලා අපේ ක්‍රීඩකයන් 11 දෙනා තෝරා ගන්න වෙනවා” යයි එංගලන්ත නායක ජෝ රූට් ඊයේ දහවල් වාර්තාකරුවන්ට පැවසීය.

එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ ශක්තිය වන්නේ වේගයෙන් පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයන් වන බෙන් ස්ටෝක්ස්, සෑම් කරන් සහ ක්‍රිස් වෝක්ස් තිදෙනාය. එහෙත් බෙන් ස්ටෝක්ස් මෙවර ශ්‍රී ලංකාවට පැමිණ නැති අතර ක්‍රිස් වෝක්ස් අද තරගයට ක්‍රීඩා කරන බවක් රූට් ස්ථිර නොකරයි. එවන් තත්ත්වයකදී දඟ පන්දු යවන්නන්ගේ දඩබිමක් වන ගාල්ල ක්‍රීඩාංණයේදී දඟ පන්දු ත්‍රිකෝණයකට මැදි වන එංගලන්තයට විශ්වාසය තැබිය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනකුම අහිමි වීමේත් වාසිය  ශ්‍රී ලංකාවට මය.

කෙසේ වෙතත් වසර දෙකකට ඉහතදී ශ්‍රී ලංකා කණ්ඩායම 3-0 කින් පරාජය කළ එංගලන්ත කණ්ඩායමේ නායකයා කීවේ ශ්‍රී ලංකාවේ (තරග දෙකම පැවැත්වෙන්නේ ගාල්ල ක්‍රීඩාංගණයේදීය) පවතින මන්දගාමී වූත් දඟ කැවෙනසුළු වූත් තණතීරු සඳහා හුරු වීමට තමන්ගේ පිතිකරුවන්ට හැකියාව තිබෙන බවයි. පසුගිය තරගාවලියේදී එංගලන්ත පිතිකරුවන්ගේ උපාය වූයේ වැඩි වැඩියෙන් ස්වීප් පහර යොදාගැනීම බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව මෙවර ඊට විකල්ප උපායයන් තිබේ.

“මේ තණතීරුවේ හොඳ දඟ කැවීමක් තියෙනවා. විශාල දඟ කැවීමක් තියෙනවා. මේ වගේ කලාපයකදී ක්‍රීඩා කරන කොට මේ වගේ අභියෝගයන්ට මුහුණ දෙන්න වෙනවා” යයි ද ජෝ රූට් පැවසීය.

ජේම්ස් ඇන්ඩසන්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, ඔලී ස්ටෝන් සහ මාක් වුඩ් එංගලන්තය සතුව සිටින වේග පන්දු යවන්නෝ වෙති. යම් හෙයකින් වර්ෂාව දිගින් දිගටම පැමිණෙන බවක් පෙනෙන්නේ නම් එංගලන්ත නායකයා වේග පන්දු යවන්නන් කෙරේ කැමැත්ත ප්‍රකාශ කරනු ඇත.

එහිදී එංගලන්තය මුහුණ දෙන විශාලතම අවාසිය වන්නේ අග්‍රගණයේ තුන් ඉරියව් ක්‍රීඩකයන් වන බෙන් ස්ටෝක්ස් කණ්ඩායමේ නොසිටීමත්, ක්‍රිස් වෝක්ස් පුහුණුවීමකින් තොරව පැත්තකට වී සිටීමත්ය. මුයින් අලීට කොරෝනා වැළඳීම නිසා ඔහුගේ ආශ්‍රීතයකුව සිටි ක්‍රිස් වෝක්ස්ට දින 7 ක් හුදෙකළා වී සිටින ලෙස නියෝග කෙරිණ.

ගාල්ලට සූර්යාලෝකය හොඳින් ලැබෙන්නේ නම්, ඩොම් බෙස්, ජැක් ලීච්, මේසන් ක්‍රේන්, මැතිව් පාකින්සන් සහ අමර් විර්දි යන දඟ පන්දු යවන්නන්ට රූට්ගේ මනාපය ලැබෙනු ඇත. එහෙත් ඔවුන් ගාල්ලේ තණතීරුවෙන් කෙසේ ප්‍රයෝජන ගනු ඇද්ද යන්න කාලයේ තීරණයකි.

අවසන් වරට සහභාගිවූ ටෙස්ට් තරග දෙකම පරාජය වූ නමුත් දිමුත් කරුණාරත්න පසුවන්නේ සුබවාදී ආකල්පයකිනි. විශේෂයෙන්ම දකුණු අප්‍රිකාවේදී පැවැති ටෙස්ට් තරගාවලියේදී  ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ දස්කම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායකයා සෑහීමට පත්ව සිටී.

“අපි ඔවුන්ගේ පන්දු යවන්නන් අවතක්සේරු කරන්නේ නෑ... ”

“ඒත් පිටියේ තත්ත්වයන් මොනවාද කියන්න අපි දන්නවා. එ වගේම ඔවුන් වෙනුවෙන් හදපු සැලසුම් කිහිපයකුත් අපට තියෙනවා.. අපි කොහොමත් අපේ නිර්භය ක්‍රීඩාව කරගෙන යනවා” යයි කී දිමුත් කරුණාරත්න...

“පසුගිය තරගාවලියෙන් අපි පාඩම් කිහිපයක් ඉගෙන ගත්තා... ඒ වැරදි ආයෙමත් කරන්න යන්නේ නෑ” යයිද පැවසීය.

කණ්ඩායමේ ක්‍රීඩකයන් 11 දෙනා කවුරුන්ද යන්න නොකී නමුත් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් එක්වන බව නායකයා තහවරු කර සිටියේය.


ශ්‍රී ලංකා සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ඕෂධ ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ලසිත් ඇඹුල්දෙණිය, වනිඳු හසරංග, ඩිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, මිනෝද් භානුක, ළහිරු තිරිමාන්න, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර, රොෂේන් සිල්වා, නුවන් ප්‍රදීප් ප්‍රනාන්දු සහ රමේෂ් මෙන්ඩිස්


එංගලන්ත සංචිතය
ජෝ රූට් (නායක), ජේම්ස් ඇන්ඩර්සන්, ජොනි බෙයාර්ස්ටෝ, ඩොම් බෙස්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, ජොස් බට්ලර්, සැක් ක්‍රෝලි, සෑම් කරන්, බෙන් ෆෝක්ස්, ඩෑන් ලෝරන්ස්, ජැක් ලීච්, ඩොම් සිබ්ලි, ඔලී ස්ටෝන්, ක්‍රිස් වෝක්ස්, මාක් වුඩ්, ජේම්ස් බ්‍රේසි, මේසන් ක්‍රේන්, සකීබ් මහ්මුද්, ක්‍රෙග් ඕවටන්, මැතිව් පාකින්සන්, ඔලී රොබින්සන් සහ අමාර් විර්දි.

තරග තීරක
රන්ජන් මඩුගල්ල


විනිසුරුවරු
කුමාර් ධර්මසේන සහ රුචිර පල්ලියගුරුගේ


අදහස් (0)

ත්‍රිකෝණයට මැදිකර එංගලන්තය කරකැවීම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.