Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton ශ්‍රී ලංකාවට පදක්කම් 6 ක්

ශ්‍රී ලංකාවට පදක්කම් 6 ක්

editorial - 2019 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාලදිවයිනේ අඩ්ඩු නගරයේදී පැවැති දකුණු ආසියානු කළාපීය වයස 21 න් පහළ බැඞ්මින්ටන් ශූරතාවලියේ කේවල සහ යුගල ඉසව්වලදී රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

එහිදී බාලිකා යුගල ඉසව්වේ රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ රිදී පදක්කමද, බාලක කේවල, බාලිකා කේවල සහ බාලක යුගල යන ඉසව්වලදී ලෝකඩ පදක්කම්ද දිනාගැනීමට සමත් විය.
 
ශ්‍රී ලංකාව සතුවූ එකම රන් පදක්කම දිනාදුන් ටෙෂානි නයනතාරා සහ හසාරා විජේරත්න බාලිකා යුගල අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස ඉන්දියාවේ දීපෂිඛා සිං සහ මාන්සි සිං පරාජය කිරීමට සමත් වූහ.

මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවද, එහිදී ඉන්දියාව හමුවේ වට 3-1 ක් ලෙස පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමිවිය.

බාලක කේවල ඉසව්වේදී ලෝකඩ පදක්කම් දිනාගැනීමට දුමිඳු අබේවික්‍රම සහ සසිඳු රන්තුෂ්ක සමත් වූ අතර අවසන් පූර්ව වටයේදී ඔවුහු පිළිවෙලින් ඉන්දියාවේ සරත් දුන්නා සහ නේපාලයේ ප්‍රින්ස් දාහාල් හමුවේ වට 2-1 බැගින් පරාජයට පත් වූහ.

බාලිකා කේවල ඉසව්වේ අවසන් මහ තරගයේදී ඉන්දියාවේ මාන්සි සිං හමුවේ වට 2-0 ක් ලෙස පරාජය වීම හේතුවෙන් හසිනි අම්බලන්ගොඩට එම ඉසව්වේ ලෝකඩ පදක්කමෙන් සෑහීමකට පත් වීමට සිදු වූවාය.

දීගායු කහටපිටිය සහ ලකිඳු රණවීර බාලක යුගල ඉසව්වේ ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ එහි අවසන් පූර්ව වටයේදී ඉන්දියාවේ සරත් දුන්නා සහ චරන් කෝයා හමුවේ වට 2-0 ක් ලෙස පරාජය වීම හේතුවෙනි.

යුක්ති රංගන මහතා මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර කාංචන විමලසූරිය මහතා කළමනාකරු ලෙසත්, තරංගා විමලසූරිය මහත්මිය කාන්තාවන් භාර නිලධාරිණිය ලෙසත් තරගාවලියට එක්ව සිටියහ.

තරග ප්‍රතිඵල

බාලිකා යුගල අවසන් මහ තරගය
ටෙෂානි නයනතාරා සහ හසාරා විජේරත්න (ශ්‍රී ලංකාව) විසින් වට 2-1 ක් ලෙස දීපෂිඛා සිං සහ මාන්සි සිං (ඉන්දියාව) පරාජය කරන ලදී. (8/21, 24/22, 21/17)

මිශ්‍ර කණ්ඩායම් අවසන් මහ තරගය
ඉන්දියාව විසින් වට 3-1 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරන ලදි.

බාලිකා කේවල අවසන් පූර්ව තරගය
මාන්සි සිං (ඉන්දියාව) විසින් වට 2-0 ක් ලෙස හසිනි අම්බලන්ගොඩ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදී. (21/15, 21/16)

බාලක කේවල අවසන් පූර්ව තරග
සරත් දුන්නා (ඉන්දියාව) විසින් වට 2-1 ක් ලෙස දුමිඳු අබේවික්‍රම (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදී. (21/11, 11/21, 21/06)
ප්‍රින්ස් දාහාල් (නේපාලය) විසින් වට 2-1 ක් ලෙස සසිඳු රන්තුෂ්ක (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදී. (16/21, 21/15, 21/18)

බාලක යුගල අවසන් පූර්ව තරගය
සරත් දුන්නා සහ චරන් කෝයා (ඉන්දියාව) විසින් වට 2-0 ක් ලෙස දීගායු කහටපිටිය සහ ලකිඳු රණවීර (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදී. (21/13, 21/15)

-036

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට පදක්කම් 6 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.