Last Update  :  2024-03-28 14:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton බැඩ්මින්ටන් සංගමයට අනතුරු ඇඟවීමක්

බැඩ්මින්ටන් සංගමයට අනතුරු ඇඟවීමක්

Nisanka Sandeepani - 2017 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර තහනමකට ලක්ව තිබෙන ශ්‍රී ලංකාවේ බැඞ්මින්ටන් ක්‍රීඩා පරිපාලනයේ ගැටලු ලබන දෙසැම්බර් 31 වැනිදාට පෙර නිරාකරණය කර නොගන්නේ නම් ඕස්ට්‍රේලියාවේ ගෝල්ඞ්කෝස්ට් නුවර දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවත් කරන බවට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය ජාතික ඔලිම්පික් කමිටුවට ඊයේ (23) නිල වශයෙන් දැනුම් දී තිබේ.

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඞ්කෝස්ට් නුවර දී 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ලබන අප්‍රේල් 4 වැනිදා සිට 15 වැනිදා දක්වාය. බැඞ්මින්ටන් ඇතුළු ක්‍රීඩා ඉසව් 17ක් එම ක්‍රීඩා උළෙලට ඇතුළත් වේ. ශ්‍රී ලංකාවට එහිදී බැඞ්මින්ටන් ක්‍රීඩාවෙන් කණ්ඩායම් ඉසව් සඳහා ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් තිදෙනකු බැගින් සහභාගි කිරීමේ අවස්ථාව හිමිවනු ඇතැයි ඔලිම්පික් කමිටු ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ බැඞ්මින්ටන් ක්‍රීඩා පරිපාලනයේ පවතින ආරවුල් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවට අන්තර්ජාතික බැඞ්මින්ටන් තහනමක් පැනවීමට ලෝක බැඞ්මින්ටන් සම්මේලනය පසුගිය 23 වැනිදා පියවර ගත්තේය. එහිදී ලෝක සම්මේලනය දැනුම් දී තිබුණේ ශ්‍රී ලංකාවේ බැඞ්මින්ටන් පරිපාලනයට එල්ලවී ඇතැයි කියන රජයේ (දේශපාලන) බලපෑම් ඉවත්කර නැවත ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සම්මේලනය ස්ථාපිත කිරීමට කටයුතු කර දැනුම් දෙන තුරු ශ්‍රී ලංකාව ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ සාමාජිකත්වයෙන් තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කළ බවයි.

කෙසේ වුවත් බැඞ්මින්ටන් පරිපාලනයේ පවතින අර්බුද හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය එහි නිලවරණය අත්හිටුවා තාවකාලික අතුරු කමිටුවක් පත් කළේ එහි නිසි බළධාරියා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතා පත්කරමිනි.

එවකට බැඞ්මින්ටන් සම්මේලනයේ සභාපති ධුරය දැරූ නිෂාන්ත ජයසිංහ මහතා කමිටුවේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි. මෙම සිදුවීමෙන් පසුව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ඉකුත් ඔක්තෝබර් 31 වැනිදාට බැඞ්මින්ටන් සම්මේලනයේ සියලු පාර්ශ්ව කැඳවා පොදු එකඟතාවයක් මත එහි නිලවරණය පැවැත්වීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ගැනුණි. කෙසේ වුවත් මෙතෙක් නිලවරණය පැවැත්වෙන දින වකවානු ප්‍රකාශයට පත්ව නොමැති අතර, මේ වන විට බැඞ්මින්ටන් පරිපාලනයේ අර්බුදය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතී.

නිලවරණය කැඳවීමේ මූලික සාකච්ඡාව සඳහා එම නඩුවේ පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් කැඳවනු ලැබිණ. ජාතික ඔලිම්පික් කමිටුවට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය කළ දැනුම් දීම නිල වශයෙන් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සම්මේලනයට (මූලස්ථාන කාර්යාලයට) යොමු කිරීමට ජාතික ඔලිම්පික් කමිටුව ඊයේ පියවර ගත් බව ද වාර්තා වේ.

ලෝක සම්මේලනයේ තහනම හමුවේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරගාවලි හා ජාත්‍යන්තර බැඞ්මින්ටන් සමුළුව හා වැඩමුළු සඳහා සහභාගිවීම ද දැනටමත් තහනම් කර තිබේ.

 


අදහස් (0)

බැඩ්මින්ටන් සංගමයට අනතුරු ඇඟවීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.