Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton තිළිණි - කාවින්දි ශ්‍රී ලංකාව දිනවති

තිළිණි - කාවින්දි ශ්‍රී ලංකාව දිනවති

ශානුක අරවින්ද - 2019 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීනයේ නැංජින් නුවරදී පැවැති සුදිර්මන් කුසලාන බැඞ්මින්ටන් තරගාවලියේ 21 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. තෙවැනි කොටසේ යටතේ තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම එම කොටසේ ශූරයන් ලෙස තරගාවලිය නිමා කළේය.

ඉතාම තීරණාත්මක මොහොතකදී සිය තරග වටය ජයගත් තිළිණි හෙන්ඳහේවා සහ කාවින්දි සිරිමාන්නගේ මෙම ස්ථානය ශ්‍රී ලංකා පිලට අත්කර දුන්හ.

තරගාවලියේ 21 වැනි ස්ථානය (තෙවැනි කොටසේ ශූරයන්) තෝරාගැනීම සඳහා පැවැති තරගයේදී අයර්ලන්තයට එරෙහිව 3-2 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එම තරගය පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල ලෙස අනු තරග 5 කින් සමන්විත විය.

පළමු තරගය ලෙස පැවැති මිශ්‍ර යුගල තරගයේදී ඉතා තියුණු තරගයකින් අනතුරුව වට 2-1 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කිරීමට අයර්ලන්තය සමත් විය. දෙවැනි තරගය ලෙස පැවැති පිරිමි කේවල තරගයද ජයගත් අයර්ලන්තය 2-0 ක් ලෙස ආරම්භයේදීම තරගයේ පෙරමුණ ගත්තේය.

කෙසේ වුවත් තෙවැනි තරගය ලෙස පැවැති කාන්තා කේවල තරගය වට 2-0 ක් ලෙසද, සිවුවැනි තරගය ලෙස පැවැති පිරිමි යුගල තරගය වට 2-1 ක් ලෙසද ජයගත් ශ්‍රී ලංකාව 2-2 ක් ලෙස සමස්ත තරගය සම තත්වයට පත් කළේය. ඒ අනුව අවසන් තරගය ලෙස පැවැති කාන්තා යුගල තරගය කණ්ඩායම් දෙකටම ඉතාමත් තීර්ණාත්මක තරගයක් බවට පත් විය.

කාන්තා යුගල තරගයද ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර එහි මුල් වට 2 අවසන් වන විට කණ්ඩායම් දෙකම එක් වටය බැගින් ජය ලබා වට 1-1 ක් ලෙස සම තත්වයේ පසුවිය. කෙසේ වුවත් ලකුණු 21/17 ක් ලෙස අවසන් වටය ජයගත් ශ්‍රී ලංකාව වට 2-1 ක් ලෙස එම තරගය ජයගනිමින් සමස්ත තරගයෙන් 3-2 ක ජයක් ලැබීය.

මූලික වටයේදී තෙවැනි කොටසේ ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකාව එහිදී ස්විට්සර්ලන්තය (තරග 3-2 කින්), ස්ලෝවැකියාව (තරග 4-1 කින්) සහ ලිතුවේනියාව (තරග 5-0 කින්) පරාජය කරමින් ‘බී’ කාණ්ඩයේ ශූරයන් බවට පත්විය.

තෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණ අයර්ලන්තය එහිදී තරග 3-2 ක් ලෙස ඕස්ටේ්‍රලියාවද, තරග 3-2 ක් ලෙස නවසීලන්තයද, තරග 5-0 ක් ලෙස නේපාලයද පරාජය කරමින් ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් බවට පත් විය.


ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැති තරගය
 
මිශ්‍ර යුගල
සෑම් මැගී සහ ච්ලෝයි මැගී (අයර්ලන්තය) විසින් වට 2-1 ක් ලෙස සචින් ඩයස් සහ තිළිණි හෙන්ඳහේවා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (20/22, 21/16, 21/17)

පිරිමි කේවල
න්හාට් ගුයෙන් (අයර්ලන්තය) විසින් වට 2-0 ක් ලෙස දිනූක කරුණාරත්න (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/12, 21/18)

කාන්තා කේවල
කාවින්දි සිරිමාන්නගේ (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස කේට් ෆ්‍රොස්ට් (අයර්ලන්තය) පරාජය කරන ලදි. (21/12, 21/07)

පිරිමි යුගල
සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක (ශ්‍රී ලංකාව) විසින් වට 2-1 ක් ලෙස සෑම් මැගී සහ න්හාට් ගුයෙන් (අයර්ලන්තය) පරාජය කරන ලදහ. (17/21, 21/16, 21/11)

කාන්තා යුගල
තිළිණි හෙන්ඳහේවා සහ කාවින්දි සිරිමාන්ගේ (ශ්‍රී ලංකාව) විසින් වට 2-1 ක් ලෙස රචීල් ඩැරග් සහ ච්ලෝයි මැගී (අයර්ලන්තය) පරාජය කරන ලදහ. (21/15, 22/24, 21/17)

 


අදහස් (0)

තිළිණි - කාවින්දි ශ්‍රී ලංකාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.