Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton බැඩ්මින්ටන් කණ්ඩායම් රිදී පදක්කම් දිනයි

බැඩ්මින්ටන් කණ්ඩායම් රිදී පදක්කම් දිනයි

editorial - 2019 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තෙවැනි දිනය වූ අද (3 වැනිදා) බැඩ්මින්ටන් කණ්ඩායම් ඉසව්වෙන් රිදී පදක්කම් 2 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා බැඩ්මින්ටන් කණ්ඩායම් සමත් වූහ.

පිරිමි අවසන් මහ තරගයේදී මෙන්ම කාන්තා අවසන් මහ තරගයේදීද ඉන්දීය කණ්ඩායම් හමුවේ පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එම ඉසව්වේ රිදී පදක්කම් වලින් සෑහීමකට පත්වීමට සිදුවිය. පිරිමි අවසන් මහ තරගයේදී 3-1 ක් ලෙස පරාජයට පත්වූ ශ්‍රී ලංකාව කාන්තා අවසන් මහ තරගයේදී පරාජය වූයේ 3-0 ක් ලෙසිනි.

පිරිමි අවසන් මහ තරගය කේවල තරග 3 කින් සහ යුගල තරග 2 කින් සමන්විත වූ අතර ඉන් පළමු කේවල තරගයේදී ඉන්දීය ක්‍රීඩක ශ්‍රීකාන්ත් කිඩම්බි වට 2-1 කින් පරාජය කළ දිනූක කරුණාරත්න තරගයට මනා ප්‍රවේශයක් ලබාගත්තේය. ලකුණු 21-17 ක් ලෙස එම තරගයේ පළමු වටය ජයගැනීමට කිඩම්බි සමත් වුවද, දෙවැනි සහ තෙවැනි වට පිළිවෙලින් ලකුනු 21-15 ක් සහ 21-11 ක් ලෙස ජයගත් දිනූක, වට 2-1 ක් ලෙස සමස්ත තරගයේ ජය සමන් සතුකර ගත්තේය.

දෙවැනි කේවල තරගයට සහභාගි වූ සචින් ඩයස්ද දක්ෂ ක්‍රීඩා විලාශයක නිරත වෙමින් සායි වර්මාට එරෙහිව පැවැති එම තරගයේ පළමු වටය ලකුණු 21-17 ක් ලෙස ජය ලැබීය. කෙසේ වුවත් දෙවැනි වටයේදී ලකුණු 11-5 ක් ලෙස පෙරමුණ ගෙන සිටියදී සචින් ආබාධයකට ලක්වීම හේතුවෙන් සමස්ත තරගයේ ජය වර්මාට හිමිවිය.

අවසන් මහ තරගයේ පළමු යුගල තරගයේදී වට 2-1 ක් ලෙස (18-21, 21-14, 21-11) සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක පරාජය කිරීමට අරුණ් ජෝජ් සහ සංයම් ශුක්ලා සමත් වූ අතර දෙවැනි යුගල තරගයේදී වට 2-0 ක් ලෙස (21-14, 21-18) ක්‍රිෂ්ණා ප්‍රසාද් සහ කපිල ධරුව් හමුවේ දිනූක කරුණාරත්න සහ හසිත චානක පරාජයට පත්වූහ. ඒ වන විටත් ඉන්දියාව 3-1 ක් ලෙස අවසන් මහ තරගය ජයගෙන තිබීම හේතුවෙන් එහි තෙවැනි කේවල තරගය නොපැවැත්විණ.

කාන්තා අවසන් මහ තරගයේ පළමු කේවල තරගයට සහභාගි වූ තිළිණි හෙන්ඳහේවා එහිදී වට 2-0 ක් ලෙස (21-12, 21-13) අෂ්මිතා චලිතා හමුවේ පරාජයට පත් වූවාය. දෙවැනි සහ තෙවැනි කේවල තරගවලදී ඩිල්මි ඩයස් වට 2-0 ක් ලෙස (21-19, 21-10) ආකර්ෂි කාශ්‍යප් හමුවේද, අචිනි රත්නසිරි වට 2-1 ක් ලෙස (21-13, 21-18, 21-10) ගයාත්‍රි ගොපිචන්ද් හමුවේද පරාජය වූහ.

කේවල තරග 3 ම පරාජය වීම හේතුවෙන් අවසන් මහ තරගයේ යුගළ තරග 2 නොපැවැත්වුණ අතර එහිදී තිළිණි හෙන්ඳහේවා සහ කාවින්ඳි සිරිමාන්නගේද, අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකාද ඉන්දීය ක්‍රීඩකාවන් සමග තරග වැදීමට සූදානමින් සිටියහ.



අදහස් (0)

බැඩ්මින්ටන් කණ්ඩායම් රිදී පදක්කම් දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.