Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton බැඩ්මින්ටන් තරග අගෝස්තුවේදී ආරම්භ කිරීමේ සැලසුමක්

බැඩ්මින්ටන් තරග අගෝස්තුවේදී ආරම්භ කිරීමේ සැලසුමක්

ශානුක අරවින්ද - 2020 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කොරෝනා වසංගතයෙන් පසුව විවධ අංශ ඔස්සේ රට යථා තත්ත්වයට පැමිණෙමින් පවතින බැවින් සෞඛ්‍ය අංශවල උපදෙස් වලට අනුව අගෝස්තු මාසයේ සිට නැවතත් තරගාවලි පැවැත්වීමට ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය සැලසුම් සකස් කරමින් සිටියි. මේ වන විට තරගාවලි පැවැත්වීම සඳහා මෙන්ම ජාතික සංචිතයේ පුහුණුවීම් ආරම්භ කිරීම සඳහාද ක්‍රීඩා අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා ඇති බව ‘ලංකාදීප’ කළ විමසුමකදී බැඞ්මින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා මහතා පැවැසීය.

“දැනට අපිට අවසර ලැබිලා තියෙන්නෙ පුහුණුවීම් ආරම්භ කිරීම සඳහා පමණයි. ඒ නිසා ජූලි මාසෙ මැද භාගය වෙනකොට අපි සෞඛ්‍ය අංශවල උපදෙස් වලට අනුව ජාතික සංචිතයේ පුහුණුවීම් පටන් ගන්නවා.” යැයි රොහාන් ද සිල්වා මහතා කියා සිටියේය.

මේ වන විට ජාතික සංචිතයේ පුහුණුවීම් ආරම්භ කර නොතිබුණද, ඊට ඇතුළත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් දැනටමත් ඔවුන් නියෝජනය කරන ක්‍රීඩා සමාජවලදී පුහුණුවීම් ආරම්භ කර ඇතැයිද සිල්වා මහතා අනාවරණය කළේය.

“හුගක් ක්‍රීඩා සමාජ මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය මත ඔවුන්ගේ ක්‍රීඩාංගණවල පුහුණුවීම් කටයුතු කිරීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව සලසලා දීලා තියෙනවා..... ඉතින් අපිත් තීරණය කළා සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලබාගෙන ලබන සතියෙ ඉදන් බැඞ්මින්ටන් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයත් කුලී පදනම මත පුහුණුවීම් සඳහා විවෘත කරන්න.” යැයි සිල්වා මහතා පැවසීය.
ඉදිරියේදී තරගාවලි අරම්භ කරන ආකාරය සහ ජාතික තරගාවලිය සඳහා බැඞ්මින්ටන් සංගමයේ සැලසුම් පිළිබඳව සඳහන් කරමින් සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය.

“තවමත් අපිට තරගාවලි ආරම්භ කිරීමට අවසර ලැබිලා නැහැ. අවසර ලැබුණ සැනින් සෞඛ්‍ය ආරක්ෂක විධි විධාන අනුගමනය කරමින් මේ වසරේ තරග කාල සටහනට අනුව (ආරම්භ කරන දිනයේ සිට ඉදිරියට) තරගාවලි පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා”

“කොරෝනා වසංගතය නිසා පසුගිය මාස තුන තුළ අපිට හුගක් තරගාවලි මඟහැරුණා. නැවත තරගාවලි ආරම්භ කළාට පසුව මඟහැරුණ තරගාවලි අතරින් කිහිපයක් සඳහා හෝ දින වෙන්කර දීමට අපි කටයුතු කරනවා.” යැයි ඔහු කියා සිටියේය.

ප්‍රේක්ෂකයන් නොමැතිව තරග පවත්වනවාට වඩා අන්තර් පුද්ගල දුරස්ථභාවය පවත්වාගනිමින් ප්‍රේක්ෂකයන් සහිතව තරග පැවැත්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව කී සිල්වා මහතා, වැඩි ඉඩ කඩක් සහිත සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ජාතික බැඞ්මින්ටන් තරගාවලිය පැවැත්වීමට සැලසුම් කරන බවද සඳහන් කළේය.

“සුගතදාස ක්‍රීඩාංගණයේ තරගාවලියක් පැවැත්වීම තරමක් මිල අධිකයි. ඒ වුණත් අනුග්‍රාහකයන්ගේ සහයත් ඇතිව වසර අවසන් භාගයේදී ජාතික බැඞ්මින්ටන් තරගාවලිය එම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට අපි මේ දිනවල සැලසුම් කරමින් සිටිනවා.”

“ඉඩ කඩ අතින් ගත්තාම සෞඛ්‍ය උපදෙස් වලට අනුව ජාතික තරගාවලිය පවත්වන්න සුගතදාස ක්‍රීඩංගණය වඩාත් සුදුසුයි කියලා අපි හිතනවා. එතකොට අපිට ප්‍රේක්ෂකයන් සහභාගී කරවා ගැනීම සම්බන්ධයෙන්ද ගැටළුවක් ඇති නොවේවි” යැයිද සිල්වා මහතා වැඩි දුරත් පැවසීය.

 


අදහස් (0)

බැඩ්මින්ටන් තරග අගෝස්තුවේදී ආරම්භ කිරීමේ සැලසුමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.