Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට 800 ක්

ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට 800 ක්

ශානුක අරවින්ද - 2021 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය අද (17 වැනිදා) සිට 21 වැනිදා දක්වා දින 5 ක් පුරා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී, වෙළෙඳ සේවා බැඩ්මින්ටන් සංගම් ක්‍රීඩාංගණයේදී සහ ඔටර්ස් ක්‍රීඩා සමාජ බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගාවලිය වසර 2020 වෙනුවෙන් පැවැත්වෙන ජාතික තරගාවලියයි.

ලී නිංග් සහ මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරය අනුග්‍රාහකත්වය දරන මෙවර තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 කට ආසන්න සංඛ්‍යාවක් තරග වදින අතර එහිදී පැවැත්වීමට නියමිත මුලු තරග සංඛ්‍යාව 762 කි. වත්මන් ජාතික ශූරයා වන නිලූක කරුණාරත්න සහ වත්මන් ජාතික ශූරිය වන ඩිල්මි ඩයස් සිය ශූරතා රැකගැනීමේ අරමුණින් මෙවර තරගාවලියට සහභාගිවෙති.   

මෙවර ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ තරග පැවැත්වීම සඳහා ඔටර්ස් ක්‍රීඩා සමාජ බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයද වෙන් කරවා ගැනීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට සිදුව ඇත්තේ ඊට අයැදුම්පත් යොමු කර ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බැවිනි.

බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම් අතරේ ඉදිරියෙන් පසුවන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර තරගාවලියට සහභාගි වන බව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය තහවුරු කරයි. එහිදී එම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විවිධ වයස් කාණ්ඩ යටතේ තරග බිමට පිවිසීමට සූදානමින් සිටිති.
 
සචින් ඩයස්, බුවනෙක ගුණතිලක, දිනූක කරුණාරත්න, ලෝචන ද සිල්වා, රන්තුෂ්ක කරුණාතිලක, චමත් ඩයස්, කාවින්දි සිරිමාන්නගේ, හසිනි අම්බලන්ගොඩ, මධුෂිකා දිල්රුක්ෂි, නදීෂා ගයාත්‍රි සමග ප්‍රවීණ ක්‍රීඩිකා චන්ද්‍රිකා ද සිල්වාද ජාතික ශූරතා හඹා යෑමේ සටනට එක්ව සිටිති.

එහිදී ප්‍රධාන කාණ්ඩ 5 වන පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන කාණ්ඩවලට අමතරව අවුරුදු 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ කනිෂ්ඨ තරගකරුවන් සඳහා කේවල සහ යුගල තරග පැවැත්වේ. ඊට අමතරව ජ්‍යෙෂ්ඨ තරගකරුවන් සඳහා අවුරුදු 35 න් පහළ, 40 න් පහළ, 45 න් පහළ, 50 න් පහළ, 55 න් පහළ, 60 න් පහළ සහ 65 වැඩි තරගකරුවන් සඳහාද කේවල සහ යුගල තරග පැවැත්වීමට නියමිතය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ පැවැත්වෙන ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සංවිධානය කෙරේ. සියලුම තරග ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය මගින් පවත්වාගෙන යනු ලබන යූ ටියුබ් නාලිකාව ඔස්සේ සහ මුහුණු පොත ඔස්සේ විකාශය කෙරේ.

 


අදහස් (0)

ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට 800 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.