Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ශ්‍රී ලංකා දස්කම් කඩා වැටේ

ශ්‍රී ලංකා දස්කම් කඩා වැටේ

editorial - 2019 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩෝහා-කටාර්හිදී දැන් පැවැත්වෙන 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 800-කාන්තා ඉසව්වේ අවසන් තරගයට ඊයේ (22) රාත්‍රියේ තරග වැදුණු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවෝ දෙදෙනාම පරාජයට පත්වූහ.

එහිදී නිමාලි ලියනආරච්චි විනාඩි 2 තත්පර 08.69කට හත්වැනි ස්ථානය දක්වා පහළට වැටුණු අතර ගයන්තිකා අබේරත්න සිවුවැනි ස්ථානයට පත්වූයේ විනාඩි 2 තත්පර 05.74 කටය.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව පදක්කම් දිනා ගැනීම කෙරෙහි මෙම ඉසව්වේදී ඉහළම විශ්වාසයකින් පසු විය. මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවෝ දෙදෙනා මූලික වටයේදී පළ කළ දස්කම්වත් ඊයේ පැවැති අවසන් තරගයේදී පළ කිරීමට එහිදී අපොහොසත් වූහ. 

අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේදී නිමාලි විනාඩි 2 තත්පර 05.10කට ද, ගයන්තිකා විනාඩි 2 තත්පර 05.20කට ද මූලික තරග නිමා කළහ. නිමාලි ලියනආරච්චි පසුගිය තරගාවලියේදී එහි රන් පදක්කම දිනා ගත් ක්‍රීඩිකාව වීම කැපීපෙනේ . ඒ විනාඩි 2 තත්පර 05.23 කටය. ගයන්තිකා අබේරත්න ගියවර එහි රිදී පදක්කම්ලාභිණිය වන අතර ඒ විනාඩි 2 තත්පර 05.27කටය. මේ අතර ඊයේ දිනයේදී ආරම්භ වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් අතර කෙටි ධාවන ක්‍රීඩක හිමාෂ ඒෂාන් ද වෙති. ඔහු ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ මීටර් 100 (පිරිමි) ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමටත් අපොහොසත් වූයේ.


අවසන් පූර්ව වටයේදී තත්පර 10.54ක කාලයක් වාර්තා කරමින් එහි පස්වැනි ස්ථානය ලබමිනි. මෙම තරගාවලියට සුදුසුකම් ලබා ගත් කොළඹ පැවැති පළමු තේරීම් තරගාවලියේදී හිමාෂ ඒෂාන් තත්පර 10.22 කට එහි නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ද සමත් විය. කෙසේ වුවත් මෙම ඉසව්වේ පෙරේදා (21) පැවැති මූලික වටයට සහභාගි වූ ඔහුගේ නිමි කාලය වූයේ තත්පර 10.42 කි.

හෙල්ල විසි කිරීමේ ශ්‍රී ලංකා ක්‍රීඩක සුමේධ රණසිංහගේ දක්‍ෂතා මීටර් 73.50 ක් දක්වා පහළට බැස තිබුණි. ඔහු කොළඹ තේරීම් තරගාවලියේදී මීටර් 79 .65ක දක්‍ෂතාවක් දක්වමින් මෙවර ආසියානු තරගාවලියට ප්‍රවේශ විය. ඔහු තරගාවලියේ අටවැනි ස්ථානයට පත්විය. 

මේ අතර මීටර් 400 (පිරිමි) ඉසව්වේ අවසන් පූර්ව තරගය තත්පර 47.07 කට නිමා කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක අජිත් ප්‍රේමකුමාර එහි අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් විය. තුන් පිම්ම ශ්‍රී ලංකා ක්‍රීඩක ග්‍රේෂන් ධනංජයගේ ඊයේ අවසන් තරගයේ දක්‍ෂතා මීටර් 16.14 කට සීමා වූයේ හයවැනි ස්ථානය ලබමිනි. කෙසේ වුවත් මූලික තරගයේදී ඔහු පළකළේ මීටර් 15.87ක දක්‍ෂතාවකි. 

මේ අතර අද (23) රාත්‍රියේ තරගාවලියේ තෙවැනි දිනයේදී මීටර් 200-පිරිමි ඉසව්වේ මූලික වටයට හිමාෂ ඒෂාන්ද, දුර පැනීම පිරිමි ඉසව්වේ මූලික වටයට ප්‍රසාද් විමලසිරි හා ධනුෂ්ක ප්‍රියරත්නද, මීටර් 3000 - බාධක කාන්තා ඉසව්ව සඳහා නිලානි රත්නායක ද, මීටර් 1500 (පිරිමි) ඉසව්වේ මූලික වටය සඳහා හේමන්ත කුමාර ද සහභාගි වීමට නියමිතව තිබුණි.

හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක සුමේධ රණසිංහ හැරෙන්නට මෙවර තරගාවලියට සහභාගි වී සිටින සෙසු ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෞද්ගලික පුහුණුකරුවන් මෙම සංචාරයට සහභාගි වී සිටීම කැපී පෙනේ.


අදහස් (0)

ශ්‍රී ලංකා දස්කම් කඩා වැටේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.