Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics විගණකාධිපති තිත්ත ඇත්තම කියයි

විගණකාධිපති තිත්ත ඇත්තම කියයි

ශනුක අරවින්ද - 2018 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජාතික ක්‍රීඩා සංගම් නියෝජිතයන් ගෙන්වා කළ අදහස් විමසීමකදී රජයේ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා ක්‍රීඩා සංගම් නිලධාරීන්ගේ මුහුණටම දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ. ජාතික ක්‍රීඩා සංගම් වල ගිණුම් සකස් කිරීම සම්බන්ධයෙන් ඇති දුර්වලතා පිළිබඳ කරුණු ගෙනහැර දක්වමින් සිය කතාව ආරම්භ කළ විජේසිංහ මහතා ජාතික ක්‍රීඩා සංගම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය තදින් විවේචනය කළ අතර ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයේ වත්මන් පරිහානියට සෘජුවම වගකිය යුත්තේ ඔවුන් බවද ප්‍රකාශ කළේය.

“මම හිතන්නේ නෑ කිසිම ක්‍රීඩා සංගමයක් ගැන ක්‍රීඩාවට අදාළ පුද්ගලයන් සතුටට පත් වෙලා ඉන්නවා කියලා”

“බලාපොරොත්තු වෙන දේ කිසිම ආකාරයකින් සිදු වෙන්නේ නෑ.... හොරකම, වංචාව, දුෂණය කියන එක ඇත්තටම තිබෙනවා.... ඔබතුමාලාත්, අපිත් ඔක්කොම එකතුවෙලා කතා කරනවා  රාජ්‍ය සේවය ඉතාමත් දූෂණයට ලක් වෙලා කියලා. දූෂණයෙන් පිරිලා කියලා.. මම සම්පූර්ණයෙන් පිළිගන්නවා. හැබැයි ඒකට වඩා වෙනස් තත්වයක් ක්‍රීඩා සංගම්වල නැහැ. ක්‍රීඩා සංගම් තියෙන්නත් එතැනම තමා”

“විගණනාධිපතිවරයා විදියට මේ වාර්තා හදන හින්දා මට කියන්න තියෙන්නේ ක්‍රීඩා සංගම්වලටත් ඒ කතාවම තමයි කියාගන්න තියෙන්නේ කියලා”

“ක්‍රීඩා සංගම් සම්බන්ධ පොදු කාරණේදී හෘද සාක්ෂිය ප්‍රමාණවත් නැහැ.....විගණනයේදී අපි දකින ප්‍රධාන කාරණයක් තමයි නිළධාරීන් කියනවා ඇයි ඔහොම කියන්නේ අපි ඒවා හරියට වියදම් කරලා තියෙනවා කියලා. ඒක හොදයි තමන්ගේ ගෙදර වැඩ වලට. ගෙදර වැඩවලදී අවශ්‍ය හෘදසාක්ෂිය විතරයිනේ. ගෙදර ඉන්න මට වැඩක් නෑනේ අනිත් අය මොනවා හිතනවාද කියලා.....”

“ඒ වුණත් ප්‍රසිද්ධ මුදල් ගණුදෙනු වලට එද්දි එහෙම බෑ. හෘදසාක්ෂිය අනෙක් මිනිස්සුන්ට පිළිගත හැකි මට්ටමේ තිබෙන්න ඕනේ. ඒ නිසා කරන්න තිබෙන වැදගත්ම දේ තමයි ලියකියවිලි ඉදිරිපත් කරන එක.... තමන් කරපු වියදම් ප්‍රමාණය හරි ආකාරයට ලේඛනගත කරලා තිබෙන්න ඕනේ. ඒ මොනවත් නොකර, පොදු මුදල් වියදම් කිරීමේදී හෘදසාක්ෂිය 500% ක් තිබුනත් ගැලවීමක් ලැබෙන්නේ නෑ” යයි ගාමිණී විජේසිංහ මහතා පැවසීය.

ජාතික ක්‍රීඩා සංගම් සිය ගිණුම් වාර්තා සකස් කිරීමේදී දක්වන දුර්වලතා සම්බන්යෙන් පැමිණ සිටි ක්‍රීඩා සංගම් නියෝජිතයන්ට පැහැදිළි කළ විජේසිංහ මහතා මෙම රැස්වීමේදී අදහස් දක්වා ඇත්තේ පවතින යථාර්ථය හෙළිදරව් කරමිනි. විජේසිංහ මහතා මෙසේද පැවසීය.

“රටේ විගණනාධිපතිවරයා විදියට ක්‍රීඩා සංගම් සම්බන්ධයෙන් මගේ තියෙන්නේ ඉතාමත්ම අප්‍රසන්න හැඟීමක්. ක්‍රීඩා සංගම් අභ්‍යන්තර ක්‍රමවේදයක් හරහා නිවැරදි තොරතුරු සකසා ගෙන මේ තත්වය ඉතාම ඉක්මණින් නිවැරදි කර ගත යුතුයි”

“ක්‍රීඩා සංගම්වලට තනතුරු අරන් එන වැඩි දෙනෙක් හොයන්නේ මොකක්ද මේ ක්‍රීඩාව, මේ ක්‍රීඩාව මට පුළුවන්ද කියන එක නෙවේ. මේ ක්‍රීඩාව ඇතුලේ කොපමණ සල්ලි තිබෙනවාද කියලා බලලා තමයි ගොඩාක් දෙනෙක් එන්නේ.....”

“විගණනය පැත්තෙන් මා දකින දේ තමයි මේ කියන්නේ. සංගම් 62 ක අපි වාර්තා සකස් කරනවා. මට අපේ නිළධාරින් විශාල ප්‍රමාණයක් මේ සදහා යොදවන්න සිදු වෙලා තිබෙනවා”

“විගණනයක් කිරීම සදහා  මුලික ලිපි ලේඛන අවශ්‍ය වෙනනවා. ඒ සඳහා ක්‍රමවේදයක් තිබිය යුතුයි. ඇත්තටම ක්‍රීඩා සංගම්වල කිසිම ක්‍රමවේදයක් නෑ. මෙම ගිණුම් තැබීම විනිවිදභාවයකින් කෙරෙන්න ඕනේ. බොහෝ ආයතනවල වවුචර් එකක්වත් නැහැ. ඒ අනුව අපිට විගණනයක් කරන්න විදියක් නැහැ. දෙන වාර්තාවක් හදලා අනිත් පැත්තට හරෝන මට්ටමට තමයි පත්වෙලා තිබෙන්නේ. ඒක ඉතාමත්ම නරක තත්වයක්.” යයිද ගාමිණී විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

“මීට වසරකට පෙර අපි නිළධාරීන්ට යෝජනා කලා මේ සදහා විශේෂ වාර්තාවක් හදමු කියලා. විශේෂයෙන්ම ඒ සදහා උනන්දු වුනේ මමත් හිටපු ක්‍රීඩකයෙක් නිසා...මමත් පොඩි කාලේ සිටම ක්‍රීඩා කලා.  පාසලේ ඉන්නකොට සමස්ත ලංකා මට්ටමට ආවා හැම සැරේම. විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ අවුරුදු 03 ම වර්ණ ලබාගත්තා. මගේ ප්‍රධානම ක්‍රීඩාව වුණේ පිහිනීම... ඊට අමතරව මීටර් 100, යගුලිය, කවපෙත්ත ඒ වගේ ඔක්කොම කළා”

“ඇත්තටම මමත් ක්‍රීඩාවට ආදරෙයි. ක්‍රීඩාව මේ රටෙන් ගිලිහිලා යන විදිය දැක්කාම, ක්‍රීඩාවට වෙන දේ දැක්කාම මටත් දුකයි.... වගකීම ගත යුතු පුද්ගලයෝ තමයි මෙතන මේ ඉන්නේ. රටේ ක්‍රීඩාව කඩා වැටීමට, විනාශ වීමට බලපාන, ක්‍රීඩාව විනාශ කිරීමට ප්‍රධානත්වය දෙන නිළධාරීන් ටික තමා මෙතන මේ ඉන්නේ කියන එක තමා මගේ හැඟීම” යයිද ගාමිණී විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

“මෙහි වැරැද්ද කොතනද කියලා හොයන්න ඕනේ. වැරැද්ද නිවැරදි කරන්න ඕනේ. අපි තනතුරු බදා ගැනීම සදහා නම් මේ වැඬේ කරන්නේ, රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම හෝ රාජ්‍ය මුදල් නාස්ති කිරීම ඉතාමත් කණගාටුදායක තත්වයක්....”

“සමහර වාර්තා දැක්කාම මොකක් කියන්නද කියලා තේරෙන්නේ නෑ. විගණනයක් විගණනාධිපතිවරයාගේ අත්සනින් වාර්තාවක් එළියට එනකොට ඒකේ පිළිගතහැකි තත්වයක් ගොඩ නැගෙන්න ඕනේ. ඒත් සියළුම ක්‍රීඩා සංගම්වල එහෙම කරගත හැකි වටපිටාවක් නැහැ කියලා කිව්වොත් මම නිවැරදියි. මූල්‍ය විනිවිදභාවය ඉතාම දුර්වලයි කියලා අපිට පිළිගන්න වෙනවා.”

“ඇයි මෙහෙම වුනේ කියලා මම මගේ නිළධාරීන්ගෙන් ඇහුවා. ඔවුන් කිවුවේ ක්‍රීඩා සංගම්වල තිබෙන රෙගුලාසි යල්පැන ගිය ඒවා බවයි”

“මම නිළධාරීන්ට යෝජනා කළා අපිට පුලුවන් උපරිම දෙයින් උදව් කරමු කොහොමද නිවැරදි වාර්තාවක් සකස් කරන්නේ කියලා. ඒ අනුව අපි සකස් කළා. ‘ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව හා එහි විගණනය’ කියලා විශේෂ වාර්තාවක්. මේක ප්‍රසිද්ධ ලියවිල්ලක්. ලබන සතියේ සිට විගණන ආයතනයේ වෙබ් එකෙන් ලබා ගන්න පුළුවන්.”

“මේ සකස් කළ වාර්තාව ඔබතුමන්ලාට පරිශීලනය කරන්න පුලුවන්. මම විස්වාශ කරනවා ක්‍රීඩා සංගම්වල නිළධාරීන් වශයෙන් හිටපු කට්ටියත්, දැනට හිටපු ඉන්න කට්ටියත්, ඉදිරියේදී එන්න බලාපොරොත්තු වෙන කට්ටියත් ඔක්කොමලා මේ වාර්තාව පරිශීලනය කිරීම අත්‍යවශ්‍යයි. අපිට දැනගන්න පුලුවන් ක්‍රීඩා සංගම්වල තිබෙන ප්‍රශ්ණ මොනවාද කියලා”

“ක්‍රීඩා සංගම් විදයට අමාත්‍යාංශයෙන් ලැබෙන මුදල් ටික වියදම් කිරීම පමණක්නම් පරමාර්ථය ඒ සදහා කණගාටුව ප්‍රකාශ කරනවා”

“19 වන ආණ්ඩුක්‍රම සංශෝධනයත් එක්ක විගණනාධිපතිවරයාගේ බලතල විශාල වශයෙන් වැඩි කලා. ඒ වැඩි කිරීමේ එක කාර්යයක් හැටියට ඇතුළත් වෙන්නේ අපි මූල්‍ය විගණනය යම්තාක් දුරට අඩු කරලා, කාර්ය සාධනය විගණනයට යොමු වෙනවා කියන එකයි. කාර්ය සාධනය විගණනයේදී වැදගත්ම කාරණය වෙන්නේ ඇත්ත වශයෙන්ම වෙන් කරන ලද මුදල් නියමිත කාර්යය සදහා යෙදෙව්වාද කියන කාරණය සහ එහි නියම ප්‍රතිපලය රටට, මහජනතාවට ලැබිලාද කියන කාරණය තව දුරටත් වෙන් වෙන් කරලා වාර්තා කිරීමයි.”

“වියදම් කරන මුදලට සාධාරණයක් සිදු වෙලා තිබෙනවාද, අරමුණු ළඟා කර ගන්න පුලුවන් වෙලා තිබෙනවාද කියලා බලනවා”

“මේ මුදල් යා යුතු තැනට ගමන් කරන්නේ නැති නිසා නියම ක්‍රීඩකයින්, දක්ෂයින් උඩට ගෙන ඒමේ හැකියාව නැතිවෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ගත්තාම වගකීම් පැවරෙන පාර්ශ්වයන් ඉතාම වැඩී. නමුත් ඉදිරියේදී අපිට ඒවා සොයාගනෙ යන්න සිදු වෙනවා. සංගම් සම්බන්ධයෙන් දරණ මතය ගැන ප්‍රසිද්ධ අදහස් අපි විමසනවා.... සෞඛ්‍යය, අධ්‍යාපනය, පොලීසිය වගේ ආයතන ගැන විමසන්න අපි මහජනතාවට පොදු ආකෘති පත්‍රයක් හදලා දෙනවා අදහස් දක්වන්න. ඔවුන්ගේ මතය අපි ගන්නවා. මේ ආයතනවලින් රට බලාපොරොත්තුවෙන, මහජනතාව බලාපොරොත්තු වෙන, රජය බලාපොරොත්තු වෙන දේ ඇත්ත වශයෙන්ම සිදු වෙලා තිබෙනවාද කියන කාරණය සොයලා බලනවා”

මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් ක්‍රමවේදයක් සකස් කර නොදීම ගැන ක්‍රීඩා අමාත්‍යාංශය පැත්තෙන් අඩුපාඩුවක් වෙලා තිබෙන බවත් පැවසූ ගාමිණී විජේසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රියාකලාපයද දෝෂ දර්ශනයට ලක්කළේය.

“ඔහේ යන්නම් වාලේ මේ ආයතන (ජාතික ක්‍රීඩා සංගම්) ගමන් කරනවා. රජය සල්ලි වියදම් කරනවා. ඒවා අරගෙන බෙදා හදාගෙන මොනවාහරි කරන්න පුලුවන් දෙයක් කරනවා. එහෙම නැත්තම් රට සවාරියක් යනවා.... නමුත් මේ අරමුණ සදහා පැහැදිලි වෙන් කිරීමක්, පැහැදිලි ගමන් කිරීමක් තියෙනවා කියලා කිසිම වාර්තාවකින් ඇත්තටම ඔප්පු වෙන්නේ නෑ”

“ප්‍රධානම ප්‍රශ්නේ තමයි විගණනාධිපතිවරයාටත් විරුද්ධව සමහර ක්‍රීඩා සංගම් නඩු පවරලා තියෙන්නේ. විගණන වාර්තාව දුන්නාම වාර්තාව ඉදිරිපත් කරපු මිනිහා වැරදිකාරයා කරලා. වැරදිකාරයා කරලා තියෙන්නේ විගණනාධිපතිවරයා.”

“මේ සංගම්වල නිළතල සදහා විශාල පොරයක් තිබෙනවා. මටනම් පේන්නේ මේ විශාල පොරය ඇතිවෙලා තිබෙන්නේ මුදල් සම්බන්ධ ප්‍රශ්ණයයි. මුදල් නැති සංගම්වලට එච්චර පොරයක් නැහැ...

“ක්‍රීඩා සංගම් නිරීක්ෂණය කිරීමේදී ක්‍රීඩා අමාත්‍යාංශය විශේෂයෙන්ම දුර්වල තත්වයක පවතිනවා. 2017 බලපුවාම වාර්තා 12 ක් පමණයි දීලා තියෙන්නේ. ඔලිම්පික් කමිටුවේ අවුරුදු 04 ක වාර්තා එකසැරේ හදන්න වුනා. වාර්තාව සකස් කරලා ඉවරවුනාට පස්සේ අවුරුදු හතරක් මුදල් කමිටුවේ හිටපු එක්කෙනා අපිට විරුද්ධව ලියනවා.... අපිට කරන්න දෙයක් නෑ. ඒ අය කමිටුවල හිටපු අය. වාසිය හම්බෙනකල් බොහෝම නිෂ්ශබ්දයි. වාසිය ඉවරවුනාට පස්සේ තමයි ප්‍රශ්ණය පටන් ගන්නේ.”

“ප්‍රශ්ණය ඇතිවෙන අවස්ථාවේදීම පරීක්ෂා කරලා වැඩ කරන්න පුලුවන්. අවුරුදු ගානක් ගියාට පස්සේ පරික්ෂා කරලා වැඩක් නෑ. එතකොට වෙන්න ඕනේ දේවල් වෙලා ඉවරයි” යයිද ගාමිණී විජේසිංහ මහතා පැවසීය.

 

- 024


අදහස් (0)

විගණකාධිපති තිත්ත ඇත්තම කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.